මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂු සංඝයා ඇමතුවා “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.
“පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදය ගැන කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”
“එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී පටිච්චසමුප්පාදය ගැන මෙම දේශනය වදාළා.
“පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාම රූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැස ම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්චසමුප්පාදය කියල කියන්නේ.
අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙලා යනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙලා යනවා. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ඉතා සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ හරිම සතුටින්.
සාදු! සාදු!! සාදු!!!
පටිච්චසමුප්පාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M