මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා වජ්ජිපුත්තක භික්ෂුවක් විශාලා මහනුවර එක්තරා වන ලැහැබක වාසය කළා. එදා විශාලා මහනුවර මුළු රැයක් පුරාම උත්සවයක් තිබුනා. විශාලා මහනුවර ඒ උත්සවයේදී හඬ නැගූ තූර්ය වාදන ශබ්ද ඇහිලා, ඒ භික්ෂුව අඬා වැළපුනා. ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.
“අයියෝ! අපි මේ තනියම කැලේකට වෙලා ඉන්නවා. වනයේ පැත්තකට දාපු දර කෑලි වගේ. මේ වගේ රාත්‍රියකත් (අපි) තනි වෙලා නෙව. අපිට වඩා අවාසනාවන්තයෝ තව ඉන්නවාද?”
ඒ මොහොතේ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂුවට සංවේගය ඇතිකරවන්න කැමති වුනා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවකින් පැවසුවා.
“ඔබ වනයේ අත්හැරපු දර කෑල්ලක් වගේ, වනාන්තරයට වෙලා තනියම ඉන්නවා නේද? ඒ වුනාට දෙව්ලොව යන්නට කැමති නිරි සතුන් වගේ බොහෝ දෙනෙක් ඔබේ ජීවිතයට කැමතියි.”
ඉතින් ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේගය ඇති කරලා, සංවේග වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M