මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. එදා තව්තිසා දෙව්ලොව වාසය කරන ජාලිනී නම් එක්තරා දෙවඟනක් ආයුෂ්මත් අනුරුද්ධයන් ළඟට ආවා. ඇය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර ජීවිතයක බිරිඳක්. ඇය ඇවිදින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථාවලින් පැවසුවා.
“ඉස්සර ඔයා හිටියෙ එහෙ තමයි. ආයෙමත් ඒ දෙව්ලොවම හිත පිහිටුවාගන්න. හැම සැපයෙන්ම සමෘද්ධිමත් වෙච්ච තව්තිසා දෙව්ලොව දෙවියන් අතරදී දේව කන්‍යාවන් පිරිවරා ගෙන ඔයාට බබලන්නට පුළුවන්.
ඒ දිව්‍ය ආත්මවල පිහිටලා ඉන්න දිව්‍ය කන්‍යාවන් දුකෙන් ඉන්නෙ. දිව්‍ය කන්‍යාවන් විසින් සමහරුන්ව පතාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ට එතනට යන එක ලේසි නෑ. යම් කෙනෙක් ලස්සන මාළිගා තියෙන කීර්තිමත් තව්තිසා දෙවියන්ගේ නන්දන උද්‍යානය දකින්නේ නැත්නම්, සැපය මොකක්ද කියලා ඔවුන් දන්නෙ නෑ.”
(අනුරුද්ධ තෙරුන්) :
“ඒයි මෝඩි! රහතුන්ගේ වචන ඔබ දන්නෙ නෑ නේද? සකස් වෙච්ච හැම දෙයක්ම අනිත්‍යයයි. හට අරගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. හට ගත්තාට පස්සේ නැතිවෙලා යනවා. ඔය ස්වභාවය සංසිඳීමයි සැපය කියන්නේ.
පින්වත් ජාලිනී, දිව්‍ය ජීවිතයකට මං ආයෙමත් යන්නෙ නෑ. ඉපදෙන සංසාරෙ ගෙවිලා ඉවරයි. මට ආයෙමත් පුනර්භවයක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M