මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් කෙසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඒ කාලෙ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ගිහියන්ව සනසවමින් වැඩි කාලයක් ඒ කටයුතුවල යෙදී ඉන්නවා.
එතකොට, ඒ වන ලැහැබේ අරක්ගත් ඒ දෙවියාට ආයුෂ්මත් ආනන්දයන් ගැන අනුකම්පාව ඇති වුනා. සෙත සළසන්න කැමති වුනා. ආයුෂ්මත් ආනන්දයන්ව සංවේග කරවන්නට කැමති වුනා. ඉතින් ඒ දෙවියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ගාථාවකින් පැවසුවා.
“රුක් සෙවනේ සේනාසනයක ඉන්න නේද ආවේ? හදවතේ ඒ අමා නිවන තබාගෙන නේද ඉන්නෙ? පින්වත් ගෞතමයෙනි, ධ්‍යාන වඩන්න. පමා වෙන්න එපා! ගිහියන් සමඟ ඔබ ඔය කරන ‘බිලි බිලි’ කතාව මොකක්ද?”
එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව ඒ දෙවියා විසින් සංවේගයට පත්කරපු නිසා සංවේග වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M