මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. ඒ කාලෙ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් දවල් කාලෙ ගතකරන්න ගිය විට එක්තරා මුව වැද්දෙකුට අවවාද කරනවා.
එතකොට ඒ වන ලැහැබට අරක් ගත් දෙවියෙක් ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කළා. යහපත සළසන්න කැමති වුනා. සංවේගය ඇති කරවන්න කැමති වුනා. ඉතින් ඒ දෙවියා ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථාවලින් පැවසුවා.
“ගිරි දුර්ග අතරෙ ඇවිදගෙන යන මුව වැද්දට ප්‍රඥාවක් නෑ. ඔහුට හිතන්න බෑ. එබඳු කෙනෙකුට අකාලෙට අවවාද කරන භික්ෂුවට නුවණ මදි කියලයි මට වැටහෙන්නෙ.
ඔහු බණ අහනවා තමයි. නමුත් අවබෝධ කරන්නෙ නෑ. වටපිට බලනව තමයි. නමුත් පේන්නෙ නෑ. බණ කියන කොට වුනත් ඒකෙ අර්ථය අඥාන පුද්ගලයාට අවබෝධ වෙන්නෙ නෑ.
පින්වත් කස්සප, ඔහොම නෙවෙයි පහන් දහයක් දල්වාගෙන හිටියත් ඔහුට රූප පේන්නෙ නෑ. රූප දකින්න ඔහුට ඇස් නැහැ නෙව.”
එතකොට ආයුෂ්මත් කස්සප ගෝතතයන්ව ඒ දෙවියා විසින් සංවේගයට පත් කරන කොට, ඒ කාරණය හිතට අරගෙන සංවේග වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M