මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඉතින් ඒ භික්ෂුව දවල් කාලෙ ගතකරන්න ගිහින් නිදන එකමයි වැඩේ. එතකොට, ඒ වනයට අරක් ගත් දෙවියාට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. යහපත සළසන්න කැමැති වුනා. ඒ භික්ෂුවට සංවේගය ඇතිකරවන්න කැමැති වුනා. ඒ දෙවියා ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවලින් මෙහෙම කිව්වා.
“ඒයි භික්ෂුව, නැගිටින්න. මොනවට නිදනවාද? ඔය නින්දෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද? කෙලෙස්වලින් ලෙඩ වෙලා, කෙලෙස් හුල්වලින් පහර කාපු ඔබට මොන නින්දක්ද?
ගිහි ජීවිතේ අත්හැරලා, ශ්‍රද්ධාවෙන්ම නේද ඔබ මහණ වුනේ? ඉතින් ඒ ශ්‍රද්ධාව නෙව දියුණු කරන්න ඕන. නින්දට නම් වසඟ වෙන්න එපා!
අඥාන උදවිය මේ කාම සැපයට මුසපත් වෙනවා. නමුත් මේ කාමයන් අනිත්‍යයයි. අස්ථිරයි. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුන, තෘෂ්ණා රහිත පැවිද්දෙකු වෙන්න හිතන ඔබ ඔය දවල් නින්දෙන් ඔහොම කෙලෙස් තවන්නෙ කොහොමද?
ඡන්දරාගය දුරුකරගෙන, අවිද්‍යාව ඉක්මවා ගිහින්, ආර්ය සත්‍යය අවබෝධයෙන් පිරිසිදු වන මේ පැවිදි ජීවිතය ඇති ඔබ ඔය දවල් නින්දෙන් කෙලෙස් තවන්නෙ කොහොමද?
උපදවගන්න විද්‍යාවෙන්, අවිද්‍යාව බිඳලා, ආශ්‍රවයන් ක්ෂය කරලා, ශෝක රහිත, පීඩා රහිත පැවිදි ජීවිතය කරා යන ඔබ ඔය දවල් නින්දෙන් කෙලෙස් තවන්නෙ කොහොමද?
පටන් ගත් වීරිය ඇති, ජීවිත ආශාව අත්හැරලා දැඩි වීරියෙන් ධර්මයේ හැසිරෙන, ඒ අමා නිවන පතාගෙන සිටින පැවිදි ජීවිතේ ඇති ඔබ ඔය දවල් නින්දෙන් කෙලෙස් තවන්නෙ කොහොමද?”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M