මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඒ කාලෙ ඒ භික්ෂුව දවල් කාලෙ ගතකරන කොට ගිහියෙක් හිතන ජාතියෙ පාපී අකුසල් සිතුවිලි හිත හිතා හිටියා.
එතකොට ඒ වන ලැහැබට අරක් ගත් දෙවියෙකුට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. ඒ භික්ෂුවගේ යහපත කැමති වුනා. ඒ භික්ෂුව තුළ සංවේගය උපදවන්න කැමති වුනා. ඉතින් ඒ දෙවියා ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවලින් මෙහෙම කිව්වා.
“ඔබ මේ වනය ඇතුළට ආවෙ භාවනා කරන්න ආශාවෙන් නේද? ඒ වුනාට දැන් ඔබේ හිත බාහිර අරමුණුවලමයි විසිරෙන්නෙ. ගිහි ජනතාවට අයිති ඔබ ජනතාව ගැන ඇති ආශාව දුරුකරන්න. වීතරාගී වෙලා, සුවසේ වාසය කරන්න.
බ්‍රහ්මචාරී ජීවිතය ගැන ඇතිවෙච්ච එපා වීම දුරුකරන්න. සිහිය උපදවා ගන්න. ඒ සිහි ඇති බව සත්පුරුෂ ධර්මයක් හැටියටයි අපි අදහන්නෙ. මේ කෙලෙස් පාතාලයෙන් එතෙර වෙන එක දුෂ්කර තමයි. මේ කාම දූවිල්ල ඔබව අපායට ගෙනියන්න එපා!
අත්තටුවල පස් තැවරුණ කුරුල්ලෙක් අත්තටු සොළවමින් ඇඟේ තැවරුණ ඒ දූවිලි ගසලා දානවා වගේ පින්වත් භික්ෂුව, ඔබත් වීරිය ගන්න. සිහිය ඇති කරගන්න. සිතේ ඇතිවෙච්ච කෙලෙස් දූවිලි ගසලා දමන්න.”
ඉතින් ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේගයට පත් කරවපු නිසා, සංවේග වෙලා පවට බිය ඇති කරගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M