මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඉතින් ඒ භික්ෂුව දවල් කාලෙ ගතකරන්නට ගිහින්, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ලාමක අකුසල් සිතුවිලි සිතන්නට පටන් ගත්තා.
එතකොට ඒ වනයට අරක්ගත් ඒ දෙවියන්ට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂුව තුළ සංවේගය උපදවන්න කැමති වුනා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින්, ඒ භික්ෂුවට ගාථාවලින් පැවසුවා.
“වැරදි ක්‍රමේට සිතන්නට ගිහින්, ඒ පාපී සිතුවිලි විසින් ඔබව කාලා දානවා. වැරදි විදිහට හිතන එක අත්හරින්න. නුවණින් සිහිකිරීම පටන් ගන්න.
ශාස්තෘන් වහන්සේ ගැනත්, සද්ධර්මය ගැනත්, සඟරුවන ගැනත්, තමන්ගේ සීලය ගැනත් ප්‍රීතියෙන්, සැපතින් යුතු ප්‍රමුදිතභාවය ඇති කරගන්න. එතකොට ප්‍රමුදිතභාවය හොඳට තිබුණොත් දුක් කෙළවර කරන්නට පුළුවනි.”
එතකොට ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේග කරවීමෙන් සංවේගයට පත් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M