සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.2.8. කට්ඨහාර සුත්තං

7.2.8. දර ගෙන යන තරුණයින්ට වදාළ දෙසුම

ඒකං සමයං භගවා කෝසලේසු විහරති අඤ්‌ඤතරස්‌මිං වනසණ්ඩේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරස්‌ස භාරද්‌වාජගොත්‌තස්‌ස බ්‍රාහ්‌මණස්‌ස සම්‌බහුලා අන්‌තේවාසිකා කට්‌ඨහාරකා මාණවකා යේන සෝ වනසණ්ඩෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා අද්‌දසංසු භගවන්‌තං තස්‌මිං වනසණ්ඩේ නිසින්‌නං පල්‌ලංකං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා.

දිස්‌වාන යේන භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භාරද්‌වාජගොත්‌තං බ්‍රාහ්‌මණං ඒතදවෝචුං. යග්‌ඝේ භවං ජානෙය්‍ය අසුකස්‌මිං වනසණ්ඩේ සමණෝ නිසින්නෝ පල්‌ලංකං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වාති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකය.

එදා භාරද්වාජ ගෝත්‍රයට අයත් එක්තරා බ්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යයන් වූ බොහෝ තරුණ පිරිසක් දර ගෙන යන්නට ඒ වන ලැහැබට ඇතුළු වුනා. ඇතුල් වුන ඒ තරුණයින්ට ඒ වන ලැහැබේ උඩු කය සෘජු කරගෙන, පළඟක් බැඳගෙන වාඩිවෙලා භාවනා කරමින් ඉන්න භාග්‍යවතුන් වහන්සේව දකින්න ලැබුනා. දැකලා, ඔවුන් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ළඟට ගියා. ගිහින් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. “භවතාණනි, දන්නවාද වැඩක්? අන්න අසවල් වන ලැහැබෙ උඩු කය සෘජු කරගෙන පළඟක් බැඳගෙන වාඩිවෙලා, භාවනා කරමින් ඉන්න ශ්‍රමණයෙක් ඉන්නවා.”

අථ ඛෝ භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ තේහි මාණවකේහි සද්‌ධිං යේන සෝ වනසණ්ඩෝ තේනුපසංකමි. උපසංකමිත්වා අද්‌දසා ඛෝ භගවන්‌තං තස්‌මිං වනසණ්ඩේ නිසින්‌නං පල්‌ලංකං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා. දිස්‌වාන යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාහි අජ්‌ඣභාසි.

එතකොට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ඒ තරුණ පිරිසත් සමඟ අර වන ලැහැබට ගියා. ගිහිල්ලා උඩු කය සෘජු කරගෙන, පළඟක් බැඳගෙන, භාවනාවෙන් වැඩඉන්න භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. දැකලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් පැවසුවා.

ගම්‌භීරරූපේ බහුභේරවේ වනේ සුඤ්‌ඤං අරඤ්‌ඤං විජනං විගාහිය
අනිඤ්‌ජමානේන ඨිතේන වග්‌ගුනා සුචාරුරූපං වත භික්‌ඛු ඣායසි

“පින්වත් භික්‍ෂුව, මේ වනය හරි ගාම්භීරයි. බියජනකයි. පාළුයි. ජනයා ගෙන් තොරයි. එබඳු වූ මේ වනාන්තරයට ඇවිදින්, කිසි තැතිගැනීමක් නැතුව, ස්ථිරව පිහිටලා, ලස්සන රූපයක් ඇති ඔබ ඇත්තෙන්ම හරිම සුන්දර විදිහටයි භාවනා කරන්නෙ.

න යත්‌ථ ගීතා නපි යත්‌ථ වාදිතං ඒකෝ අරඤ්‌ඤේ වනමස්‌සිතෝ මුනි
අච්‌ඡේරරූපං පටිභාති මං ඉදං යදේකකෝ පීතිමනෝ වනේ වසේ.

යම් තැනක මිහිරි ගීත නැද්ද, යම් තැනක කර්ණ රසායන වාදන නැද්ද, එබඳු වනයකට ඇවිදින්, හුදෙකලාව, වනය ඇසුරු කරන මොහු මුනිවරයෙකි. ඔය විදිහට තනි පංගලමේ ප්‍රීතිමත් සිතින් වනයේ ඉන්නවා දකින කොට, මේක මට මහා පුදුමයක් වගෙයි.

මඤ්‌ඤාමහං ලෝකාධිපතී සහව්‍යතං ආකංඛමානෝ තිදිවං අනුත්‌තරං
කස්‌මා භවං විජනමරඤ්‌ඤමස්‌සිතෝ තපෝ ඉධ කුබ්‌බසි බ්‍රහ්‌මපත්‌තියාති.

“මට හිතෙන්නෙ ඔය භවතාණන් ලෝකාධිපති මහාබ්‍රහ්මයා සමඟ එකතු වෙන්න කැමති වෙලා, අනුත්තර වූ බඹලොව පතනවා වෙන්න ඇති. ඇත්තෙන්ම මේ භවතා ජනයාගෙන් තොර මේ වනාන්තර ඇසුරු කරන්නේ ඇයි? බ්‍රහ්ම ලෝකෙ උපදින්න හිතාගෙන නේද මේ වනයේ තපස් රකින්නේ?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

යා කාචි කංඛා අභිනන්‌දනා වා අනේකධාතූසු පුථූ සදාසිතා
අඤ්‌ඤාණමූලප්‌පභවා පජප්‌පිතා සබ්‌බා මයා බ්‍යන්‌තිකතා සමූලිකා.

“නොයෙක් ස්වභාවයෙන් යුතු ලෝකයේ, හැමතිස්සෙම පවතින්නෙ එක්කො ආශාවක්. එක්කො යම්කිසි සැකයක්. අවිද්‍යාව මුල් වෙලා ඒවා හැදෙනවා. තණ්හාවෙන් වැඩෙනවා. මං ඒ හැම දෙයක්ම මුලින්ම උදුරලා දැම්මා, ඉක්මවා ගියා.

ස්‌වාහං අකංඛෝ අසිතෝ අනූපයෝ සබ්‌බේසු ධම්මේසු විසුද්‌ධදස්‌සනෝ
පප්‌පුය්‍ය සම්‌බෝධිමනුත්‌තරං සිවං ඣායාමහං බ්‍රාහ්මණ රහෝ විසාරදෝති.

පින්වත් බ්‍රාහ්මණය, ඒ මම සැක රහිත කෙනෙක්. තෘෂ්ණා රහිත කෙනෙක්. අරමුණුවලට නොබැසගන්න කෙනෙක්. හැම දෙයක් ගැනම පිරිසිදු දැක්මක් ඇති කෙනෙක්. මං අනුත්තර වූ සම්බෝධියට පත්වෙච්ච කෙනෙක්. පිරිසිදු බවට පත්වෙලා, දහම තුළ විශාරද වෙලා තමයි මං මේ රහසේ භාවනා කරන්නෙ.”

ඒවං වුත්තේ භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

මෙසේ වදාළ විට, භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M