මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක.
ඒ දිනවල නවකම්මික භාරද්වාජ බ්‍රාහ්මණයා ඒ වන ලැහැබේම (ලී ඉරීම් ආදිය) වැඩ කරවමින් ඉන්නවා. එදා නව කම්මික භාරද්වාජ බ්‍රාහ්මණයා එක්තරා සල් රුක් සෙවනක උඩු කය සෘජු කරගෙන, පළඟක් බැඳගෙන භාවනාවෙන් වැඩඉන්න භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා ඔහුට මෙහෙම හිතුනා. ‘මං මේ වන ලැහැබට ඇවිදින් සතුටින් ඉන්නෙ මේ වැඩකටයුතු කරවන නිසා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකක් කරවමින්ද වනයට ඇලී ඉන්නෙ?’
ඉතින්, නවකම්මික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“පින්වත් භික්‍ෂුව, ඔබ මේ සල් වනයේ මොන වගේ වැඩද කරමින් ඉන්නෙ? භවත් ගෞතමයන් වහන්ස, හුදෙකලාව අරණ්‍යයේ ඉන්න එක ගැන ඔබ ආසයි නේද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මේ වනයේ මට වැඩකටයුතු මොකවත් නෑ. මගේ කෙලෙස් වනය මං මුල්වලින්ම ගලෝල දැම්මා. කටු ගලෝලා දැම්මා. කිසි හුලක් නැති, කෙලෙස් වනයක් නැතුවයි මම ඉන්නෙ. ධර්මයට නොඇලෙන ගතිය මා තුළ නෑ. ඒ නිසයි මේ වනයේ මං හුදෙකලාවෙ ඇලී ඉන්නෙ.”
මෙසේ වදාළ විට නවකම්මික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව දරන සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M