සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
ඒ දිනවල මානත්ථද්ධ කියල බ්‍රාහ්මණයෙක් සැවැත් නුවර හිටියා. ඔහු තම මව්ට වඳින්නෙ නෑ. පියාට වඳින්නෙ නෑ. ගුරුවරයාට වඳින්නෙ නෑ. වැඩිමහල් සොහොයුරාට වඳින්නෙ නෑ.
එදා භාග්‍යවතුන් වහන්සේ විශාල පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් හිටියා. එතකොට මානත්ථද්ධ බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ‘මේ ශ්‍රමණ ගෞතමයන් විශාල පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා. හොඳයි, මාත් ශ්‍රමණ ගෞතමයන් ළඟට යනවා. හැබැයි ශ්‍රමණ ගෞතමයන් මට කතා කළොත් විතරක් මං කතා කරනවා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් මාත් එක්ක කතා නොකළොත් මං කතා කරන්නෙත් නෑ.’
ඉතින්, මානත්ථද්ධ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් පැත්තකින් හිටගත්තා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔහු සමඟ කතා කළේ නෑ. එතකොට මානත්ථද්ධ බ්‍රාහ්මණයා ‘මේ ශ්‍රමණ ගෞතමයන් කිසි දෙයක් දන්නෙ නැහැ නෙව’ කියල හිතලා ආපසු හැරිල යන්න සූදානම් වුනා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ මානත්ථද්ධ බ්‍රාහ්මණයාගේ සිතේ ඇති අදහස් තම සිතින් දැනගෙන, මානත්ථද්ධ බ්‍රාහ්මණයාට ගාථාවකින් පැවසුවා.
“පින්වත් බ්‍රාහ්මණය, යම්කිසි ප්‍රයෝජනයක් බලාගෙන, මෙහි ආපු කෙනෙකුට, මාන්නය වැඩි කරගන්න එක හොඳ නෑ. යම්කිසි ප්‍රයෝජනයකට ආවා නම් ඒකම තමයි කරගත යුත්තෙ.”
එතකොට මානත්ථද්ධ බ්‍රාහ්මණයා ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ සිත දැනගත්තා නෙව’ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස හිසින් වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිඹින්න පටන් ගත්තා. දෑතින් පිරිමදින්න පටන් ගත්තා. තමන්ගේ නම කියන්න පටන් ගත්තා. “භවත් ගෞතමයන් වහන්ස, මම තමයි මානත්ථද්ධ. භවත් ගෞතමයන් වහන්ස, මම තමයි මානත්ථද්ධ.”
ඒ මොහොතේ, ඒ පිරිස අතිශයින්ම පුදුමයට පත්වුනා. “භවත්නි, මේක නම් ආශ්චර්යයක්. මේක නම් අද්භූත දෙයක්. මේ මානත්ථද්ධ බ්‍රාහ්මණයා අම්මට වඳින කෙනෙක් නොවෙයි. තාත්තට වඳින කෙනෙක් නොවෙයි. ගුරුවරයෙකුට වඳින කෙනෙක් නොවෙයි. වැඩිමහල් සහෝදරයෙකුට වඳින කෙනෙක් නොවෙයි. ඒ වුනාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන පුදුමාකාර යටහත්පහත් කමකින් නෙව මේ කටයුතු කරන්නෙ.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මානත්ථද්ධ බ්‍රාහ්මණයාට මෙහෙම පැවසුවා. “පින්වත් බ්‍රාහ්මණය, දැන් ඔය ඇති. නැගිටින්න. තමන්ගේ ආසනෙන් වාඩිවෙන්න. ඔබේ සිත මා ගැන පැහැදිලා තියෙනවා.”
ඊට පස්සෙ මානත්ථද්ධ බ්‍රාහ්මණයා තම ආසනේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“කවුරු ගැනද මාන්නයක් නැතිව කටයුතු කරන්න ඕන? කවුරු ගැනද ගෞරව කරන්න ඕන? කාටද උපස්ථාන කරන්න ඕන? ඉතා හොඳින් පිදිය යුත්තේ කවුරුන්වද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මව් ගැනත්, පියා ගැනත්, ඒ වගේම වැඩිමහල් සහෝදරයා ගැනත්, ආචාර්යවරයා ගැනත් කියන මේ හතර දෙනා ගැන මාන්නයෙන් කටයුතු කරන්නෙ නෑ. ඒ අය ගැනමයි ගෞරව කළ යුත්තෙ. ඒ අයටමයි සළකන්න ඕන. ඒ අයවමයි ඉතා හොඳින් පුදන්න ඕන.
අවබෝධය සම්පූර්ණ කරගත්ත, ආශ්‍රව රහිත, සිහිල් වෙලා ගිය රහතන් වහන්සේලා ඉන්නවා. ඒ අනුත්තර වූ මුනිවරුන්ට මාන්නයෙන් දැඩි වෙන්නෙ නැතුව, මාන්නය නැති කරගෙන වඳින්න ඕන.”
මෙසේ වදාළ විට මානත්ථද්ධ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M