සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එදා එක්තරා බ්‍රාහ්මණ වංශික ප්‍රභූවරයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඔහු ඇඳගෙන හිටියේ දිරා ගිය වැරහැළි වගේ වස්ත්‍රයක්. ඔහු භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“පින්වත් බ්‍රාහ්මණය, මොකද ඔය දිරා ගිය වැරහැළි ඇතුව ඉන්නේ?”
(බ්‍රාහ්මණයා) :
“අනේ භවත් ගෞතමයන් වහන්ස, මට මෙහේ පුතාලා හතර දෙනෙක් ඉන්නවා. ඒ පුතාලා එයාලගේ බිරින්දෑවරුන් එක්ක සාකච්ඡා කරලා, මාව ගෙදරින් එළවගත්තා නෙව.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, (මා දැන් උගන්වන) මේ ගාථාවන් හොඳට පාඩම් කරගෙන, මහා ජනකාය රැස්වන සභාවෙ ඔබේ පුතාලා වාඩිවෙලා ඉන්න වෙලාවට කියන්න.
‘මට දාව උපන් දරුවන් ඉන්නවා. මං ඒ දරුවන් ගැන ගොඩාක් සතුටු වුනා. මං එයාලගේ දියුණුවක්මයි පැතුවේ. අන්තිමේදී ඒ දරුවො අඹුවන් එක්ක එකතු වෙලා, මං ගෙදරට එන එක වළක්වා ගත්තෙ, බලු රැලක් ඌරෙක්ව වළක්වනවා වගේ.
එවුන් අසත්පුරුෂයි. පහත් අදහස් තියෙන්නෙ. රාස්සයො වගයක්. පුතාලගේ වෙස් අරගෙන, මට ‘තාත්තෙ, තාත්තෙ’ කියල කියනවා. දැන් මේ නාකි මාව එළවගන්නවා.
දැන් මං වැඩක් ගන්න බැරි දිරාපු අස්පයෙක් වගෙයි. ජීවත්වෙන්න යමක්කමක් නැති මාව ඒ අඥානයින්ගේ වයසක තාත්තා වෙච්ච මාව, බත් ටිකක් නොදී එළවගන්නවා. අන්තිමේදී අනුන්ගේ ගෙවල්වලින් හිඟා කනවා.
මගේ ඒ අකීකරු පුතාලට වඩා, මේ හැරමිටිය මට හුඟක් වටිනවා. මේ හැරමිටියට පුළුවනි, නපුරු ගොනෙක්ව වළක්වන්න. මේ හැරමිටියට පුළුවනි නපුරු බල්ලන්වත් වළක්වන්න.
මං කළුවරේ යන කොට හැරමිටිය ඉස්සර වෙනවා. වළවල් තියෙන තැන්වල, හැරමිටිය පිහිට වෙනවා. පය පැකිළී වැටෙන්න යන කොට, මේ හැරමිටියේ ආනුභාවයෙනුයි මං කෙළින් හිටින්නේ.”
ඉතින් ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයා භාග්‍යවතුන් වහන්සේ කියා දීපු මේ ගාථාවන් පාඩම් කරගෙන, මහජනකාය රැස්වෙන තැන්වලදී පුතාලත් වාඩිවෙලා ඉන්න කොට කියන්න පටන් ගත්තා.
“මට දාව උපන් දරුවන් ඉන්නවා. මං ඒ දරුවන් ගැන ගොඩාක් සතුටු වුනා. මං එයාලගේ දියුණුවක්මයි පැතුවේ. අන්තිමේදී ඒ දරුවො අඹුවන් එක්ක එකතු වෙලා, මං ගෙදරට එන එක වළක්වා ගත්තෙ, බලු රැලක් ඌරෙක්ව වළක්වනවා වගේ.
එවුන් අසත්පුරුෂයි. පහත් අදහස් තියෙන්නෙ. රාස්සයො වගයක්. පුතාලගේ වෙස් අරගෙන, මට ‘තාත්තෙ, තාත්තෙ’ කියල කියනවා. දැන් මේ නාකි මාව එළවගන්නවා.
දැන් මං වැඩක් ගන්න බැරි දිරාපු අස්පයෙක් වගෙයි. ජීවත්වෙන්න යමක්කමක් නැති මාව ඒ අඥානයින්ගේ වයසක තාත්තා වෙච්ච මාව, බත් ටිකක් නොදී එළවගන්නවා. අන්තිමේදී අනුන්ගේ ගෙවල්වලින් හිඟා කනවා.
මගේ ඒ අකීකරු පුතාලට වඩා, මේ හැරමිටිය මට හුඟක් වටිනවා. මේ හැරමිටියට පුළුවනි, නපුරු ගොනෙක්ව වළක්වන්න. මේ හැරමිටියට පුළුවනි නපුරු බල්ලන්වත් වළක්වන්න.
මං කළුවරේ යනකොට හැරමිටිය ඉස්සර වෙනවා. වළවල් තියෙන තැන්වල, හැරමිටිය පිහිට වෙනවා. පය පැකිළී වැටෙන්න යන කොට, මේ හැරමිටියේ ආනුභාවයෙනුයි මං කෙළින් හිටින්නේ.”
එතකොට, ඒ පුතාලා ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයව ගෙදර එක්කරගෙන ගියා. වතුර නෑව්වා. වෙන අළුත් වස්ත්‍ර දෙකක් අරන් දුන්නා.
ඉතින් ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයා එක වස්ත්‍ර යුගලයක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, අපි ඉතින් බ්‍රාහ්මණයො නෙව. අපි අපේ ගුරුවරුන්ට ගුරු පඬුරු සොයන උදවිය. භවත් ගෞතමයන් වහන්සේ දැන් මගේ ආචාර්යවරයෙක්. ඒ නිසා මේ ගුරු පඬුර පිළිගන්නා සේක්වා!”
භාග්‍යවතුන් වහන්සේ මහත් අනුකම්පා උපදවා, එය පිළිගෙන වදාළා.
ඉතින් ඒ බ්‍රාහ්මණ ප්‍රභූවරයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්සේ ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙසින් මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M