සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වාත අමාරුවක් නිසා, ගිලන් වෙලා හිටියා. ආයුෂ්මත් උපවාන තෙරුන් තමයි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ. එදා භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන තෙරුන් අමතා වදාළා. “පින්වත් උපවාන, මට (නාගන්න) උණුවතුර ටිකක් ලැබෙන පිළිවෙළක් බලනවාද?”
“එසේය, ස්වාමීනි” කියලා, ආයුෂ්මත් උපවාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. පිළිතුරු දීලා පාත්‍ර සිවුරු අරගෙන දේවහිත බ්‍රාහ්මණයාගේ නිවසට පැමිණුනා. පැමිණිලා නිශ්ශබ්දව පැත්තකින් වැඩහිටියා.
දේවහිත බ්‍රාහ්මණයා නිශ්ශබ්දව පැත්තකින් හිටගෙන ඉන්න ආයුෂ්මත් උපවාන තෙරුන්ව දැක්කා. දැකලා ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථාවකින් පැවසුවා.
“(ආ!) සඟළ සිවුරු පොරවගත්තු, හිස මුඩු කළ ඔය භවතා නිශ්ශබ්දව හිටගෙන ඉන්නෙ මොකවත් බලාපොරොත්තුවෙන්ද? මොකවත් හොයනවාද? මොනව හරි ඉල්ලගන්නද ආවේ?”
(උපවාන තෙරුන්) :
“පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ නිකෙලෙස් උතුමාණන් වන සුගතයන් වහන්සේ වන මුනිරජාණන් වහන්සේ වාත අමාරුවකින් ගිලන් වෙලා වැඩඉන්නවා. ඉතින් උණුවතුර ටිකක් ඇත්නම් ඒ මුනිඳුන් උදෙසා දුන මැනව.
උන්වහන්සේ පූජනීය උතුමන්ගෙන් පිදුම් ලබන කෙනෙක්. සත්කාර ලබන උතුමන්ගෙන් සත්කාර ලබන කෙනෙක්. ගෞරව ලබන උතුමන්ගෙන් ගෞරව ලබන කෙනෙක්. ඉතින් ඒ බුදු සමිඳුන් උදෙසා තමයි මං උණුවතුර අරගෙන යන්න කැමති.”
එතකොට දේවහිත බ්‍රාහ්මණයා පුරුෂයෙක් ලවා උණුවතුර කදක් ගෙන්වලා දුන්නා. ආයුෂ්මත් උපවාන තෙරුන්ට හකුරු පිඬකුත් පූජා කළා.
ඊට පස්සෙ ආයුෂ්මත් උපවාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් උණු පැන්වලින් උන්වහන්සේව නෑව්වා. උණුපැන්වලින්ම හකුරු දිය කරලා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ අසනීපය සංසිඳිලා ගියා.
එදා දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේත් සමඟ සතුටුවුනා. පිළිසඳර කතාබහේ යෙදුනා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කිව්වා.
“දිය යුතු දේවල් කාටද දිය යුත්තෙ? කාට දුන්නොත්ද ගොඩාක් පින් ලැබෙන්නෙ? දන් දෙන කෙනෙක් කොයි ආකාරයෙන්, කාට දෙන කොටද, ඒ දානය සම්පූර්ණ වෙන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යමෙක් තමන් පෙර ගතකළ ජීවිත ගැන දන්න ඤාණයකින් යුක්ත නම්, ස්වර්ගයත්, අපායත් දකින ඤාණයෙන් යුක්ත නම්, ඒ වගේම ඉපදීම නැති කරලා, අරහත්වයටත් පත්වෙලා ඉන්නවා නම්, ඔය විදිහට සුවිශේෂ අවබෝධ ඤාණයෙන් යුක්ත මුනිවරයෙක් ඉන්නවා නම්,
අන්න ඒ මුනිඳුන්ටයි දිය යුතු දෙයක් දිය යුත්තෙ. ඒ මුනිඳුන්ට දෙන දෙයින් ගොඩාක් පින් ලැබෙනවා. ඔය විදිහටයි දන් දෙන කෙනෙකුගේ ඔය දන් දීම සම්පූර්ණ වෙන්නෙ.”
මෙසේ වදාළ විට දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M