සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
ඒ දිනවල සංගාරව කියල බ්‍රාහ්මණයෙක් සැවැත් නුවර හිටියා. ‘දියේ ගිලීමෙන් පව් සෝදා පිරිසිදු වෙන්න පුළුවන්’ යන ඇදහීමෙන් යුක්ත වූ මොහු ජලයෙන්ම පිරිසිදු බව පැතුවා. උදේ හවස දියේ ගිලීම තමයි තමන්ගේ ආගමික ව්‍රතය කරගෙන හිටියේ.
එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍රයත් සිවුරත් අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතෙ කරගෙන දානෙ වළඳලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන්, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මේ සැවැත් නුවර සංගාරව කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ‘දියේ ගිලී පව් සේදීමෙන් පිරිසිදු වෙනවා’ කියන දේ අදහාගෙන, ජලයෙන්ම පිරිසිදු බව පතනවා. උදේ සවස දියට බැසීම තමයි එයාගේ ආගමික ව්‍රතය වෙලා තියෙන්නෙ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ සංගාරව බ්‍රාහ්මණයාගේ නිවසට, ඔහු ගැන අනුකම්පා කරලා, වඩින සේක් නම්, කොයිතරම් දෙයක්ද.”
භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්දව ඉවසා වදාළා.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සෙ උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරුත් අරගෙන සංගාරව බ්‍රාහ්මණයාගේ නිවසට වැඩියා. වැඩම කරලා, සකස් කරපු ආසනයෙහි වැඩහිටියා.
එතකොට සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබහේ යෙදුනා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන සංගාරව බ්‍රාහ්මණයාගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ඇසුවා.
“පින්වත් බ්‍රාහ්මණය, ඔබ දියේ ගිලී පව් සේදීමෙන් පිරිසිදු වෙන බව අදහාගෙන, ජලයෙන් පිරිසිදු බව පතනවා කියන්නෙ ඇත්තද? උදේ හවස දියේ ගිලීම ආගමික ව්‍රතය කරගෙන ඉන්නවා කියන්නෙ?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒක එහෙම තමයි.”
“භවත් බ්‍රාහ්මණය, දියේ ගිලීමෙන් පව් හෝදන්න පුළුවන් බව අදහාගෙන, දියේ ගිලීමෙන් පිරිසිදු බව පතන්න නම්, ඔබ දැකපු ආනිසංස මොනවාද? උදේ හවස දියට බැසීම ආගමික ව්‍රතයක් කරගන්න තරම් ඔබ දැකපු ආනිසංස මොනවාද?”
“භවත් ගෞතමයන් වහන්ස, කාරණය මේකයි. මං අතින් දවල් කාලෙත් යම්කිසි පවක් කෙරුණොත්, හවස නාන කොට ඒ පව් හෝදල දානවා. රාත්‍රී කාලෙ යම් පවක් කෙරුණොත්, උදේට නාන කොට ඒ පව හෝදල දානවා. භවත් ගෞතමයන් වහන්ස, ඔන්න ඔය ආනිසංසය මං දකිනවා. දියේ ගිලීමෙන් පව් සේදෙන බව අදහා ගෙන ජලයෙන් පිරිසිදු බව පතන්නෙ ඒකයි. උදේ හවස දියේ ගිලීම ආගමික ව්‍රතය කරගෙන ඉන්නෙ ඒකයි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, අවබෝධයේ පරතෙරට ගිය, ආර්යන් වහන්සේලා වතුර නාන තැනක් තියෙනවා. ඒකෙ වතුර නෑවට ඇඟ තෙමෙන්නේ නෑ. ඇත්තෙන්ම ඒ උදවිය පරතෙරටම යනවා. ඒක නොකැළඹුණු තැනක්. සත්පුරුෂයන් ප්‍රශංසා කරපු තැනක්. ඒකට බහින්නෙ සීලය නැමැති තොටුපලින්. ඒ ජලාශය තමයි ධර්මය.”
මෙසේ වදාළ විට සංගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට දරන සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M