මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ, ඛෝමදුස්ස නම් ශාක්‍යයන්ගේ කුඩා නගරයේ වාසය කළේ.
එදා භාග්‍යවතුන් වහන්සේ, උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු ගෙන, ඛෝමදුස්ස කුඩා නගරෙට පිණ්ඩපාතෙ වැඩියා.
ඒ වෙලාවෙ ඛෝමදුස්සයේ වාසය කරන බ්‍රාහ්මණ ගෘහපතිවරු, යම්කිසි කටයුත්තකට ඇවිදින් රැස්වෙලා හිටියා. එතකොට පොඩි වැහි පොදයක් ආවා.
ඉතින්, භාග්‍යවතුන් වහන්සේ අර රැස්වීම තිබුණු තැනට වැඩියා. ඛෝමදුස්සයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා, මෙහෙම කිව්වා. “මේ කවුද? හිස මුඩු කළ කෙනෙක්. ශ්‍රමණයෙක්. මේ මොකද? මේ රැස්වීමේ වැඩ ගැන මොනවා දන්නවාද?”
ඒ මොහොතේ ඛෝමදුස්සයේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට භාග්‍යවතුන් වහන්සේ ගාථාකින් වදාළා.
“යම් තැනක ශාන්ත මුනිවරු නැත්නම්, එතන රැස්වීමක් නෑ. ධර්මය කියන අය නැත්නම්, එතන ශාන්ත මුනිවරුත් නෑ. රාගයත්, ද්වේෂයත්, මෝහයත් නැති කරලා, ධර්මය කියන උදවියමයි ශාන්ත මුනිවරු වෙන්නේ.”
මෙසේ වදාළ විට, ඛෝමදුස්සයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. වැහිලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ. මං මුළා වූ කෙනෙකුට හරි මඟ කියා දුන්නා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්නට, අඳුරේ තෙල් පහනක් දැරුවා වගේ. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය කියලා දුන්නා. ඉතින් අපි භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු වශයෙන් පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි උපාසක වර්ගය අවසන් විය.
බ්‍රාහ්මණ සංයුත්තය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M