ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ජටා භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ජටා භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙය පැවසුවා.
“ඇතුළත් අවුල් වෙලා. පිටත් අවුල් වෙලා. මේ මිනිස්සු ඉන්නෙ අවුලෙන් අවුලට පත් වෙලා. අන්න ඒ කාරණය ගැන ගෞතමයන් වහන්සේගෙන් අහන්න කැමතියි. මේ අවුල ලිහාගන්නෙ කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ප්‍රඥාවන්ත මනුෂ්‍යයා සීලයක පිහිටලා, සිතත්, ප්‍රඥාවත් වඩනවා නම්, කෙලෙස් තවන වීරිය ඇති, තැනට සුදුසු නුවණ ඇති, අන්න ඒ භික්‍ෂුව තමයි ඔය අවුල ලිහාගන්නෙ.
යමෙක් තුළ රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් නැත්නම්, ඔවුන් ආශ්‍රව රහිතයි. ඔවුන් රහතන් වහන්සේලා. ඔවුන් විසින් ඔය අවුල ලිහාගෙනයි තියෙන්නෙ.
යම් තැනක නාමත්, රූපත් එමෙන්ම මානසිකව ඇතිවෙන සඤ්ඤාවනුත්, ඉතිරි නැතිව නැති වෙනවා නම්, අන්න එතන තමයි මේ අවුල සිඳිල යන්නෙ.”
මෙහෙම වදාළ විට ජටා භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා.” ඉතින් ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M