සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.1.4. බිලංගික සුත්තං

7.1.4. බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. අස්‌සෝසි ඛෝ බිලං‌ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භාරද්‌වාජගොත්‌තෝ කිර බ්‍රාහ්මණෝ සමණස්‌ස ගෝතමස්‌ස සන්තිකේ අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝති. කුපිතෝ අනත්‌තමනෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා තුණ්‌හීභූතෝ ඒකමන්තං අට්‌ඨාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනාරාමයේ. එහිදී භාරද්වාජ වංශික බ්‍රාහ්මණයෙක් ගිහි ගේ අත්හැරලා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වූ බව බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාට ආරංචි වුනා. ඒ ගැන ඔහු කිපුනා. අසතුටු වුනා. අන්තිමේ දී භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් (බලවත් කෝපයකින් යුතුව) නිශ්ශබ්දව පැත්තකින් වාඩිවෙලා හිටියා.

අථ ඛෝ භගවා බිලංගිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය බිලංගිකභාරද්‌වාජං බ්‍රාහ්‌මණං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සිතුවිලි හඳුනගත්තා. බිලංගික භාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථාවකින් වදාළා.

යෝ අප්‌පදුට්‌ඨස්‌ස නරස්‌ස දුස්‌සති
සුද්‌ධස්‌ස පෝසස්‌ස අනංගණස්‌ස
තමේව බාලං පච්‌චේති පාපං
සුඛුමෝ රජෝ පටිවාතංව ඛිත්‌තෝති.

“කවුරු හරි කෙනෙක් පිරිසිදු සිත් ඇති, නිකෙලෙස් නොකිපෙන සිත් ඇති කෙනෙකුට කිපුනොත්, ඒක උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ලක් වගේ ඒ පව ඒ අඥාන පුද්ගලයා කරාම එනවා.”

ඒවං වුත්තේ බිලං‌ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා භාරද්වාජෝ අරහතං අහෝසීති.

මෙහෙම වදාළ විට බිලංගිකභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා.” ඉතින් ආයුෂ්මත් භාජද්වාජයන් වහන්සේ රහතන් වහන්සේල අතර කෙනෙක් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M