සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.1.3. අසුන්දරික සුත්තං

7.1.3. අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. අස්‌සෝසි ඛෝ අසුරින්‌දකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භාරද්‌වාජගොත්‌තෝ කිර බ්‍රාහ්මණෝ සමණස්‌ස ගෝතමස්‌ස සන්තිකේ අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝති. කුපිතෝ අනත්‌තමනෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති. ඒවං වුත්තේ භගවා තුණ්‌හී අහෝසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ.

එහිදී භාරද්වාජ වංශික බ්‍රාහ්මණයෙක් ගිහි ජීවිතේ අත්හැරලා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයේ පැවිදි වුන බවට අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට ආරංචි වුනා. ඒ ගැන ඔහු කිපුනා. අසතුටු වුනා. අන්තිමේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා. ආක්‍රෝශ කරන්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා. එහෙම බණින කොට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටියා.

අථ ඛෝ අසුරින්‌දකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝව. ජිතෝසි සමණ, ජිතෝසි සමණාති.

එතකොට අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ඒයි ශ්‍රමණය, දිනුවා කියල හිතුවාද? ඒයි ශ්‍රමණය දිනුවා කියලා හිතුවාද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

ජයං වේ මඤ්‌ඤති බාලෝ වාචාය ඵරුසං භණං
ජයං චේ වස්‌ස තං හෝති යා තිතික්‌ඛා විජානතෝ.

“ඇත්තෙන්ම අනුන්ට බණින මෝඩ කෙනා තමන් ජයගත්තා කියලයි හිතන්නෙ. නමුත් ඉවසීමේ ගුණ දන්න කෙනාගේ යම් ඉවසීමක් තියෙනවා නම්, එයාට තමයි ජය ලැබෙන්නෙ.

තස්‌සේව තේන පාපියෝ යෝ කුද්‌ධං පටිකුජ්‌ඣති
කුද්‌ධං අප්‌පටිකුජ්‌ඣන්‌තෝ සං‌ගාමං ජේති දුජ්‌ජයං

යම් කෙනෙක් තමන් ගැන කිපුන කෙනාට පෙරළා කිපුනොත් ඒකෙන් හානි සිද්ධ වෙන්නෙ තමන්ටමයි. නමුත් තමන් ගැන කිපෙන කෙනෙකුට පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න අමාරු යුද්ධය දිනන්නෙ.”

උභින්‌නමත්‌ථං චරති අත්තනෝ ච පරස්‌ස ච
පරං සංකුපිතං ඤත්‌වා යෝ සතෝ උපසම්‌මති.

අනිත් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා, සිහියෙන් යුතුව ඉවසුවොත්, ඔහු තමයි තමාටත්, අනුන්ටත් යන දෙපැත්තටම යහපත හදන්නෙ.

උභින්‌නං තිකිච්‌ඡන්‌තං අත්තනෝ ච පරස්‌ස ච
ජනා මඤ්‌ඤන්‌ති බාලෝති යේ ධම්‌මස්‌ස අකෝවිදාති.

තමන්ටත් අනුන්ටත්, දෙපැත්තටම යහපත සිදුකරන කෙනාව දැකලා, ධර්මයට අදක්‍ෂ අඥාන උදවිය හිතන්නෙ ඔහු මෝඩයි කියලා.”

ඒවං වුත්තේ අසුරින්‌දකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම, ….(පෙ)…. අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා භාරද්වාජෝ අරහතං අහෝසිති.

මෙහෙම වදාළ විට අසුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා. ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් වුනා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M