සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.1.2. අක්කෝසක සුත්තං

7.1.2. අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. අස්‌සෝසි ඛෝ අක්කෝසකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භාරද්‌වාජගොත්‌තෝ කිර බ්‍රාහ්මණෝ සමණස්‌ස ගෝතමස්‌ස සන්තිකේ අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝති. කුපිතෝ අනත්‌තමනෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්‌වා භගවන්‌තං අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයේ. එහිදී භාරද්වාජ වංශික බ්‍රාහ්මණයෙක් ගිහි ගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච බව අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයාට අසන්න ලැබුනා. ඔහු ඒ ගැන කිපුනා. අසතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින් ආක්‍රෝශ කරන්න පටන් ගත්තා. පරිභව කරන්න පටන් ගත්තා.

ඒවං වුත්තේ භගවා අක්කෝසකභාරද්‌වාජං බ්‍රාහ්‌මණං ඒතදවෝච. තං කිං මඤ්‌ඤසි බ්‍රාහ්‌මණ, අපි නු තේ ආගච්‌ඡන්‌ති මිත්‌තාමච්‌චා ඤාතිසාලෝහිතා අතිථයෝති. අප්‌පේකදා මේ භෝ ගෝතම ආගච්‌ඡන්‌ති මිත්‌තාමච්‌චා ඤාතිසාලෝහිතා අතිථයෝති. තං කිං මඤ්‌ඤසි බ්‍රාහ්‌මණ අපි නු තේසං අනුප්‌පදේසි ඛාදනීයං වා භෝජනීයං වා සායනීයං වාති? අප්‌පේකදා නේසාහං භෝ ගෝතම අනුප්‌පදේමි ඛාදනීයං වා භෝජනීයං වා සායනීයං වාති. සචේ ඛෝ පන තේ බ්‍රාහ්‌මණ නප්‌පටිගණ්‌හන්‌ති කස්‌ස තං හෝතීති. සචේ තේ භෝ ගෝතම නප්‌පටිගණ්‌හන්‌ති අම්‌හාකමේව තං හෝතීති. ඒවමේව ඛෝ බ්‍රාහ්‌මණ යං ත්‌වං අම්හේ අනක්‌කෝසන්‌තේ අක්කෝසසි, අරෝසෙන්‌තේ රෝසේසි, අභණ්‌ඩන්‌තේ භණ්‌ඩසි, තං තේ මයං නප්‌පටිග්‌ගණ්‌හාම. තවේවේතං බ්‍රාහ්‌මණ හෝතීති.

එහෙම බණින කොට අක්කෝසක භාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පැවසුවා.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ මේ ගැන මොකක්ද හිතන්නෙ. ඔබේ නිවසට යාළු මිත්‍රයන්, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවාද?”

“භවත් ගෞතමයෙනි, ඔව්. මාගේ නිවසට සමහර දවස්වලට යාළු මිත්‍රයො, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවා.”

“පින්වත් බ්‍රාහ්මණය, මේ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? ඉතින්, ඔවුන්ට කන දේවල්වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග්‍රහ කරනවාද?”

“භවත් ගෞතමයෙනි, ඔව්. මං ඔවුන්ට ඇතැම් දවස්වල කන දේවල් වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග්‍රහ කරනවා තමයි.”

“එහෙම නම් පින්වත් බ්‍රාහ්මණය, ඔවුන් ඔබේ සංග්‍රහය නොපිළිගත්තොත්, ඒවා අයිති වෙන්නෙ කාටද?”

“භවත් ගෞතමයෙනි, ඉතින් ඔවුන් ඒවා පිළිගන්නෙ නැත්නම්, ඒවා ඉතින් අපට නෙව.”

“පින්වත් බ්‍රාහ්මණය, අන්න ඒ වගේ තමයි, ඔබ කාටවත් ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කරනවා. කා සමඟවත් නොකිපෙන අප සමඟ කිපෙනවා. කා සමඟවත් රණ්ඩුවට නොයන අප සමඟ රණ්ඩුවට එනවා. නමුත් ඒවා අපි පිළිගන්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒවා අයිති වෙන්නෙ ඔබටමයි.

යෝ ඛෝ බ්‍රාහ්‌මණ අක්කෝසන්‌තං පච්‌චක්‌කෝසති, රෝසෙන්‌තං පටිරෝසේති, භණ්‌ඩන්‌තං පටිභණ්‌ඩති, අයං වුච්‌චති බ්‍රාහ්‌මණ සම්‌භුඤ්‌ජති වීතිහරති. තේ මයං තයා නේව සම්‌භුඤ්‌ජාම න වීතිහරාම. තවේවේතං බ්‍රාහ්‌මණ හෝති. තවේවේතං බ්‍රාහ්‌මණ හෝතීති.

පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් ආක්‍රෝශ කරන කෙනෙකුට පෙරලා ආක්‍රෝශ කරනවා නම්, කිපෙන කෙනෙකුට පෙරලා කිපෙනවා නම්, රණ්ඩුවට එන කෙනෙක් එක්ක පෙරලා රණ්ඩු කරනවා නම්, පින්වත් බ්‍රාහ්මණ, ඔන්න ඕකටයි කියන්නෙ එකතු වෙලා අනුභව කරනවා කියලා. බෙදාගෙන කනවා කියලා. නමුත් ඒ අපි ඔබ සමඟ එකතු වෙලා අනුභව කරන්නෙ නෑ. බෙදාහදාගෙන කෑමක් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔබටමයි ඒවා අයිති වෙන්නෙ. පින්වත් බ්‍රාහ්මණය, ඔබට විතරමයි ඒවා අයිති වෙන්නෙ.”

(බ්‍රාහ්මණෝ);

(බ්‍රාහ්මණය) :

භවන්‌තං ඛෝ ගෝතමං සරාජිකා පරිසා ඒවං ජානාති. අරහං සමණෝ ගෝතමෝති. අථ ච පන භවං ගෝතමෝ කුජ්‌ඣතීති.

“භවත් ගෞතමයන් වහන්සේ ගැන රජ්ජුරුවන් ඇතුළු ජනතාව මේ විදිහටයි දන්නෙ. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්’ කියලා. ඒ වුනාට භවත් ගෞතමයන්ට කේන්ති යනවා නෙව.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

අක්කෝධස්‌ස කුතෝ කෝධෝ දන්‌තස්‌ස සමජීවිනෝ
සම්‌මදඤ්‌ඤා විමුත්‌තස්‌ස උපසන්‌තස්‌ස තාදිනෝ

“දමනය වුන කෙනෙකුට, යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට, අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වුන කෙනෙකුට, උපශාන්ත කෙනෙකුට, අකම්පිත සිත් ඇති කෙනෙකුට, ක්‍රෝධයක් කොයින්ද?

තස්‌සේව තේන පාපියෝ යෝ කුද්‌ධං පටිකුජ්‌ඣති
කුද්‌ධං අප්‌පටිකුජ්‌ඣන්‌තෝ සංගාමං ජේති දුජ්‌ජයං.

යම් කෙනෙක් තමන් ගැන කිපුන කෙනාට, පෙරළා කිපුනොත්, ඒකෙන් හානි සිද්ධ වෙන්නෙ තමන්ටමයි. නමුත්, තමන් ගැන කිපෙන කෙනාට, පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනන්නෙ.

උභින්‌නමත්‌ථං චරති අත්තනෝ ච පරස්‌ස ච
පරං සං‌කුපිතං ඤත්‌වා යෝ සතෝ උපසම්‌මති

අනිත් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසුවොත්, ඔහු තමයි තමාටත්, අනුන්ටත් යන දෙපැත්තටම යහපත හදන්නෙ.

උභින්‌නං තිකිච්‌ඡන්‌තං අත්තනෝ ච පරස්‌ස ච
ජනා මඤ්‌ඤන්‌ති බාලෝති යේ ධම්‌මස්‌ස අකෝවිදාති.

තමන්ටත්, අනුන්ටත් දෙපැත්තටම යහපත සිදුකරන කෙනාව දැකලා, ධර්මයට අදක්‍ෂ අඥාන උදවිය හිතන්නෙ ඔහු මෝඩයි කියලා.”

ඒවං වුත්තේ අක්කෝසකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම, ….(පෙ)…. ඒසාහං භවන්‌තං ගෝතමං සරණං ගච්‌ඡාමි, ධම්‌මඤ්‌ච භික්‌ඛුසං‌ඝඤ්‌ච. ලභෙය්‍යාහං භන්තේ භෝතෝ ගෝතමස්‌ස සන්තිකේ පබ්‌බජ්‌ජං ලභෙය්‍යං උපසම්‌පදන්‌ති.

මෙහෙම වදාළ විට, අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස ඉතා මනහරයි! …. (පෙ) …. ඒ මම පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි බව ලැබෙනවා නම්, උපසම්පදාව ලැබෙනවා නම් කොච්චර දෙයක්ද.”

අලත්‌ථ ඛෝ අක්කෝසකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිකේ පබ්‌බජ්‌ජං අලත්‌ථ උපසම්‌පදං. අචිරූපසම්‌පන්‌නෝ ඛෝ පනායස්‌මා අක්කෝසකභාරද්වාජෝ ඒකෝ වූපකට්‌ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්‌සේව යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්මදේව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති, තදනුත්‌තරං බ්‍රහ්‌මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා භාරද්වාජෝ අරහතං අහෝසීති.

ඉතින් අක්කෝසක භාරද්වාර බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදා වුනා.

ඉතින් ඒ ආයුෂ්මත් අක්කෝසක භාරද්වාජයන් වහන්සේ උපසම්පදාවෙන් ටික කලකට පස්සෙ තනි වුනා. හුදෙකලා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිකර ගත්තා. දහමට දිවි පුදා වාසය කළා. සැදැහැවතුන් ගිහි ගෙය අත්හැරලා බුදු සසුනේ උතුම් පැවිද්ද ලබන්නෙ යම් අර්ථයක් පිණිස නම්, අන්න ඒ උතුම් අර්ථය සුළු කලකදීම ලබාගත්තා. බඹසර ජීවිතයේ කෙළවර වූ උතුම් අරහත්වයට මේ ජීවිතේදීම පැමිණුනා. ඉපදීම නැතිවුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයෙමත් සසර දුකක් නැතැයි අවබෝධ කරගත්තා. ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාරජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M