මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයේ.
ඒ කාලෙ එක්තරා භාරද්වාජ වංශයේ උපන් බමුණෙකුගේ ධනඤ්ජානි කියන බැමිණිය බුදු සමිඳුන් ගැනත්, සිරි සදහම් ගැනත්, ආර්ය සඟරුවන ගැනත් අතිශයින්ම පැහැදිලයි හිටියේ.
එදා ධනඤ්ජානි බැමිණිය ඒ භාරද්වාජ බමුණාට බත් ගෙනයමින් සිටියදී, පය පැටලිලා වැටෙන්න ගියා. ඒ වෙලාවෙ ඇය තුන්වතාවක් මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. ‘ඒ භාග්‍යවත් අරහත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’ කියලා.
මේ විදිහට කිව්වට පස්සෙ ඒ භාරද්වාජ වංශික බ්‍රාහ්මණයා ධනඤ්ජානි බැමිණියට මෙහෙම කිව්වා. “ඒයි වසලි! උඹ මෙතන ඉඳගෙන, ඒ මුඩු ශ්‍රමණයාගේ ගුණ වර්ණනා කරනවානේ. ඒයි වසලි, දැන් බලාගනින්, මං ගිහිල්ලා, නුඹේ ඒ ශාස්තෘන් වහන්සේත් එක්ක වාද කරන හැටි” කියලා.
“බමුණ, මම නම් දකින්නෙ නෑ මේ දෙවියන් සහිත, මාරයන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, දෙවිමිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව තුළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාද ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් නම් ඉන්නවා කියල. ඒ වුනාට කමක් නෑ බමුණ, ඔබම යන්න. ගිහිල්ලා ඔබම දැනගෙන එන්නකො” කියලා.
ඊට පස්සෙ භාරද්වාජ වංශික බමුණාට කේන්ති ගියා. නොසතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන භාරජද්වාජ වංශික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“කුමක් නැති කළාමද සනීපෙට නින්ද යන්නෙ? කුමක් නැති කළාමද ශෝක නොකරන්නෙ? පින්වත් ගෞතමයන් වහන්ස, කවර නම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට යන්නෙ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝකය නැතිවෙලා යන්නෙ. බමුණ, විෂ මුල් තියෙන (පළිගැනීම නම් වූ මිහිරි අග ඇති) ක්‍රෝධය නැසීම ගැන, ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරන්නෙ.”
භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා. ඊට පස්සෙ ඒ භාරද්වාජ වංශික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරිම මනහරයි! පින්වත් ගෞතමයන් වහන්ස, හරිම මනහරයි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබිච්ච දෙයක් ඇරල පෙන්නුවා වගෙයි. මං මුළා වූ කෙනෙකුට හරි මග පෙන්නුවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරේ තෙල් පහන් දැරුවා වගෙයි. පින්වත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට නොයෙක් ආකාරයෙන් ධර්මය වදාළා. මමත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්‍ෂුසංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ සමීපයේ මට පැවිද්ද ලැබෙනවා නම්, උපසම්පදාව ලැබෙනවා නම්, කොයිතරම් හොඳද.”
ඉතින් ඒ භාරද්වාජ වංශික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදාවත් ලැබුවා. ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ උපසම්පදාවෙන් ටික කලකට පස්සෙ එකළා වුනා. හුදෙකලා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිකර ගත්තා. දහමට දිවි පුදා වාසය කළා. යම් උතුම් අර්ථයක් පිණිස සැදැහැවතුන් ගිහි ගේ අත්හැරලා, බුදු සසුනේ යහපත් පැවිද්ද ලබනවා නම්, අන්න ඒ උතුම් අර්ථය සුළු කලකදීම ලබාගත්තා. බඹසර ජීවිතයේ නිමාව වූ උතුම් අරහත්වයට මේ ජීවිතයේදීම පැමිණුනා. ඉපදීම නැතිවුනා. බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයෙමත් සසර දුකක් නැතැයි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත්වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M