මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ, භික්‍ෂුසංඝයා ඇමතුවා. ඒ භික්‍ෂු පිරිසද “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මේක ගොඩාක් කලකට ඉස්සෙල්ල සිද්ධ වෙච්ච දෙයක්. අරුණවා කියල රජෙක් හිටියා. පින්වත් මහණෙනි, ඒ අරුණවත් රජ්ජුරුවන්ට අරුණවතී කියල රාජධානියක් තිබුනා. පින්වත් මහණෙනි, ඒ කාලෙ සිඛී නම් වූ භාග්‍යවත්, අරහත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ මේ අරුණවතී කියන රාජධානියේ. පින්වත් මහණෙනි, ඒ භාග්‍යවත්, අරහත් සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිභූ, සම්භව නමින් අග්‍ර වූ, ඉතා යහපත් වූ ශ්‍රාවකයින් දෙනමක් සිටියා.
එදා භාග්‍යවත්, අරහත් සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිභූ භික්‍ෂුව ඇමතුවා. පින්වත් භික්‍ෂුව, පිණ්ඩපාතෙ වෙලාව එනතුරු, අපි එක්තරා බ්‍රහ්ම ලෝකෙකට යමු’ කියලා. ඒ අභිභූ භික්‍ෂුවත් ‘එසේය, ස්වාමීනි’ කියල භාග්‍යවත්, අරහත් සිඛී සම්බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා.
ඊට පස්සෙ පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේත්, අභිභූ භික්‍ෂුවත් බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දිගහරින වේගයෙන්, දිගහැරපු අතක් හකුලන වේගයෙන් ඒ අරුණවතී රාජධානියෙන් අතුරුදහන් වුනා. ඒ බ්‍රහ්ම ලෝකෙ පහළ වුනා.
ඊට පස්සෙ, අරහත්, සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ අභිභූ භික්‍ෂුවට කතා කළා. ‘පින්වත් බ්‍රාහ්මණය, මේ බ්‍රහ්මයාටත්, බ්‍රහ්ම පිරිසටත් මේ අතවැසි බ්‍රහ්මයන්ටත් කියාදෙන්න දැන් ඔබට ධර්ම කථාවක් වැටහේවා!’ කියලා. එතකොට ඒ අභිභූ භික්‍ෂුව, ‘එසේය ස්වාමීනි’ කියල අරහත් සම්මා සම්බුද්ධ වූ, සිඛී භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ධර්ම කථාවෙන් ඒ බ්‍රහ්මයාටත්, බ්‍රහ්ම පිරිසටත්, අතවැසි බ්‍රහ්මයන් පිරිසටත් කරුණු දැක්වූවා. සමාදන් කළා. උත්සාහවත් කළා. සතුටු කළා.
ඒ වෙලාවේදී පින්වත් මහණෙනි, ඒ බ්‍රහ්මයත්, බ්‍රහ්ම පිරිසත්, අතවැසි බ්‍රහ්ම පිරිසත් ‘භවත්නි, පුදුමයක් නෙව. භවත්නි, හරිම අද්භූත දෙයක් නෙව. ශාස්තෘන් වහන්සේ ඉදිරියේ ඉඳගෙනම කොහොම නම් මේ ශ්‍රාවකයෙක් ධර්මය දේශනා කරනවාද?’ කියලා අවමන් කළා, ගැරහුවා, දොස් කිව්වා.
ඊට පස්සෙ අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ අභිභූ භික්‍ෂුවට කතා කළා. ‘පින්වත් බ්‍රාහ්මණය, මේ බ්‍රහ්මයාත්, බ්‍රහ්ම පිරිසත්, අතවැසි බ්‍රහ්ම පිරිසත් ඔබට මේ විදිහට අවමන් කරනවා නේද? ‘හරි පුදුමයක් නෙව. හරිම අද්භූත දෙයක් නෙව. ශාස්තෘන් වහන්සේ ඉස්සරහ ඉඳගෙනම මේ ශ්‍රාවකයෙක් ධර්මය දේශනා කරන හැටි’ කියලා. ඒ නිසා පින්වත් බ්‍රාහ්මණය, ඔබ දැන් මේ බ්‍රහ්මයාත්, බ්‍රහ්ම පිරිසත්, අතවැසි බ්‍රහ්ම පිරිසත්, හොඳ හැටියට සංවේගයට පත් කරවන්න ඕන’ කියලා.
‘එසේය ස්වාමීනි’ කියල අභිභූ භික්‍ෂුව අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ඒ අභිභූ භික්‍ෂුව කය පෙනී තිබියදීත් ධර්මය දේශනා කළා. කය නොපෙනී තිබියදීත් ධර්මය දේශනා කළා.
යටි කය විතරක් පෙනෙන්න තිබියදී, උඩු කය නොපෙනෙද්දි දහම් දෙසුවා. උඩු කය පෙනෙන්න තියෙද්දි, යටි කය නොපෙනෙන්න තියෙද්දිත් ධර්මය දේශනා කළා.
පින්වත් මහණෙනි, ඒ වෙලාවෙ ඒ බ්‍රහ්මයත්, බ්‍රහ්ම පිරිසත්, අතවැසි බ්‍රහ්ම පිරිසත් පුදුමයට පත්වුනා. ‘හරි ආශ්චර්යයි නෙව. හරි අද්භූතයි නෙව. මේ භික්‍ෂුව මහා ඉර්ධි බල සම්පන්නයි නෙව. මහානුභාව සම්පන්නයි නෙව’ කියලා.
පින්වත් මහණෙනි, ඊට පස්සෙ ඒ අභිභූ භික්‍ෂුව අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, මට මතකයි, පින්වත් භික්‍ෂුසංඝයා මැද, මම මෙන්න මේ විදිහේ වචනයක් කිව්වා. ‘ආයුෂ්මතුනි, බඹලොව ඉඳගෙන දහසක් ලෝක ධාතුවට (සහස්‍රී ලෝක ධාතුව) ඇහෙන්න කටහඬ පතුරුවන්න පුළුවනි’ කියලා.
‘ඔව්, පින්වත් බ්‍රාහ්මණය! දැන් තමයි සුදුසුම කාලය. දැන් තමයි හොඳම වෙලාව. ඔබ දැන් මේ බ්‍රාහ්ම ලෝකෙ ඉඳගෙනම, සහස්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න ඔබේ කටහඬ පතුරුවන්න.’
‘එසේය ස්වාමීනි’ කියල ඒ අභිභූ භික්‍ෂුව භාග්‍යවත් අරහත් වූ සිඛී බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. බ්‍රහ්ම ලෝකෙ සිටිමින්ම මේ ගාථාවන් වදාළා.
‘වීරිය පටන් ගන්න. කෙලෙස්වලින් නික්මිලා යන්න. බුදු සසුනේ යෙදී වාසය කරන්න. බලවත් ඇතෙක් බට දඬුවලින් හදපු ගෙයක් සුණු විසුණු කරල දානව වගේ, මේ මාර සේනාවත් සුණු විසුණු කරල දාන්න.
යම් කෙනෙක් මේ ධර්ම විනය තුළ අප්‍රමාදීව සමථ විදර්ශනා පුරුදු කරන්න වෙහෙසෙනවා නම්, ඔහු සසරෙ ඉපදීම සදහටම නැතිකරල දාලා, සියලු දුක් කෙළවර කරල දානවා.’
පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේත්, අභිභූ භික්‍ෂුවත්, ඒ බ්‍රහ්මයාවත්, බ්‍රහ්ම පිරිසවත්, අතවැසි බ්‍රහ්ම පිරිසවත් සංවේගයට පත්කළා. බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දික් කරනව වගේ, දික් කරපු අතක් හකුලනව වගේ ඒ බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වුනා. අරුණවතී රාජධානියේ පහළ වුනා.
.පින්වත් මහණෙනි, එදා අරහත් සම්මා සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා ඇමතුවා. ‘පින්වත් මහණෙනි, ඔබට ඇසුනද මේ අභිභූ භික්‍ෂුව බ්‍රහ්ම ලෝකෙ ඉඳන් ප්‍රකාශ කළ ගාථා?’
‘එහෙමයි ස්වාමීනි, අපිට ඇහුනා අභිභූ භික්‍ෂුව බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන ප්‍රකාශ කළ ගාථා.’
‘ඉතින් පින්වත් මහණෙනි, මේ අභිභූ භික්‍ෂුව ඒ බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන ප්‍රකාශ කළ ඒ ගාථා ඔබට කොයි විදිහටද ඇහුවේ?’
‘ස්වාමීනි, අභිභූ භික්‍ෂුව බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන ගාථා කියද්දි අපි මේ විදිහට ඇහුවා.’
‘වීරිය ආරම්භ කරන්න. කෙලෙස්වලින් නික්මිලා යන්න. බුදු සසුනේ යෙදි වාසය කරන්න. බලවත් ඇතෙක්, බට දඬුවලින් හදපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ, මේ මාර සේනාවත් සුණු විසුණු කරල දාන්න.
යම් කෙනෙක් මේ ධර්ම විනය තුළ අප්‍රමාදීව, සමථ විදර්ශනා වඩන්න වෙහෙස වෙනවා නම්, ඔහු සසරෙ ඉපදීම සදහටම නැතිකරල දාලා, සියලු දුක් කෙළවර කරල දානවා.’
‘ස්වාමීනි, අභිභූ භික්‍ෂුව බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන, ගාථා කියන කොට ඔන්න ඔය විදිහට තමයි අපි ඇහුවේ.’
“සාදු! සාදු! පින්වත් මහණෙනි, අභිභූ භික්‍ෂුව බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන ගාථා කියද්දි ඔබත් අහගෙන හිටපු එක බොහොම හොඳයි.”
භාග්‍යවතුන් වහන්සේ සිඛී බුදුරජාණන් වහන්සේ ගැන මේ තොරතුරු වදාළා. ඒ භික්‍ෂුන් වහන්සේලා ගොඩාක්ම සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම ඉතාම සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M