සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.2.3. අන්ධකවින්ද සුත්තං

6.2.3. අන්ධකවින්ද ගමේදී සහම්පතී බ්‍රහ්මයා පැවසූ ගාථා කරුණ අනුමත කොට වදාළ දෙසුම

ඒකං සමයං භගවා මගධේසු විහරති අන්‌ධකවින්‌දේ. තේන ඛෝ පන සමයේන භගවා රත්‌තන්‌ධකාරතිමිසායං අජ්ඣෝකාසේ නිසින්නෝ හෝති. දේවෝ ච ඒකමේකං ඵුසායති. අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්පං අන්‌ධකවින්‌දං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති භගවතෝ සන්තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයේ අන්ධකවින්ද ගමේ තමයි වැඩවාසය කළේ. එදා භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී ඝන අන්ධකාරයේ එළිමහනේ (පැණවූ අසුනේ) වැඩහිටියා. වැහි බිඳුත් එක දෙක වැටෙනවා.

ඒ රැය පහන් වෙද්දි, සහම්පතී බ්‍රහ්මයා බබලන සිරුරකින් යුතුව, මුළු මහත් අන්ධකවින්දයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය සහම්පතී බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

සේවේථ පන්‌තානි සේනාසනානි චරෙය්‍ය සඤ්ඤෝජනවිප්‌පමොක්‌ඛා
සචේ රතිං නාධිගච්‌ඡෙය්‍ය තත්‌ථ සංඝේ වසේ රක්‌ඛිතත්‌තෝ සතීමා.

“දුර ඈත සෙනසුන්වල තමයි ඉන්න ඕන. සසර බන්ධනවලින් නිදහස් වෙන්න හිතාගෙනමයි ධර්මයේ හැසිරෙන්න ඕන. එහෙත්, ඒ ගැන හිතේ ආශාවක් නැතිවුනොත්, තමන්ව රැකගෙන, සිහි ඇතිව සඟරුවන සෙවනේ ඉන්න ඕන.

කුලාකුලං පිණ්‌ඩිකාය චරන්‌තෝ ඉන්‌ද්‍රියගුත්‌තෝ නිපකෝ සතීමා
සේවේථ පන්‌තානි සේනාසනානි භයා පමුත්‌තෝ අභයේ විමුත්‌තෝ.

ගෙයක් ගෙයක් පාසා පිඬු සිඟා වඩිද්දි, ඉඳුරන් රැකගන්න ඕන. නුවණින් යුතු වන්න ඕන. සිහි ඇතිව ඉන්න ඕන. දුර ඈත සෙනසුන්වලමයි ඉන්න ඕන. සසර බියෙන් නිදහස් වෙලා, ඒ අමා නිවනට පත් වෙලා ඉන්න ඕන.

යත්‌ථ භේරවා සිරිංසපා විජ්‌ජු සඤ්‌චරති ථනේති දේවෝ
අන්‌ධකාරතිමිසාය රත්‌තියා නිසීදි තත්‌ථ භික්‌ඛු විගතලෝමහංසෝ.

(ඔය වන සෙනසුන්වල) බිහිසුණු අරමුණු තියෙනවා. සත්තුසර්පයො ඉන්නවා. විදුලි කොටනවා. වැහි වළාකුළු ගොරවනවා. ඝන අන්ධකාර රාත්‍රියේ එහි භික්‍ෂුවක් වැඩඉන්නවා. නමුත්, කිසිම ලොමු දහගැනීමක් නෑ.

ඉදං හි ජාතු මේ දිට්‌ඨං නයිදං ඉතිහීතිහං
ඒකස්‌මිං බ්‍රහ්‌මචරියස්‌මිං සහස්‌සං මච්‌චුහායිනං.

ඇත්තෙන්ම ඔය කාරණය මම දැකපු එකක්. මං මේ කාගෙන්වත් අහගෙන කියනව නොවෙයි. එක බණ පදයක් තුළ මාරයා පරදවන රහතුන් දහසක් සිටිනවා.

භිය්‍යෝ පඤ්‌චසතා සේඛා දසා ච දසධා දස
සබ්‌බේ සෝතසමාපන්‌නා අතිරච්‌ඡානගාමිනෝ.

පන්සියයකට වැඩි මගඵල ලාභී උතුමන් (මේ අන්ධකවින්ද ගමේ) ඉන්නවා. දහ දෙනෙක්ද, සිය දෙනෙක්ද වූ හැම කෙනෙක්මත් නිවන් මඟට බැසගෙනයි ඉන්නෙ. අපාය ගමනෙන් තොරවයි ඉන්නෙ.

අථායං ඉතරා පජා පුඤ්‌ඤභාගාති මේ මනෝ
සංඛාතුං නෝපි සක්කෝමි මුසාවාදස්‌ස ඔත්‌තපේති

මට හිතෙන්නෙ මේ අනිත් පිරිසත්, සෑහෙන්න පිං කරගෙන ඇති. ඔවුන්ව ගණන් කරන්න මට බැරිවුනා. බොරු කියන්න මං භයයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M