මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුසිනාරා නුවර, උපවර්තන නම් වූ මල්ල රජුන්ගේ සල් උයනේ සල් ගස් දෙකක් අතරේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ සමයයි.
එදා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා ඇමතුවා. ‘පින්වත් මහණෙනි, දැන් මා ඔබට මේ අවසන් මොහොතේද අමතමි. මේ සංස්කාර සියල්ලම නැසී යන සුළුයි. ඒ නිසා ඔබ අප්‍රමාදීව මේ සදහම් මගේ හැසිරෙන්න ඕන. මේ තථාගතයන් වහන්සේගේ අන්තිම ප්‍රකාශයයි’ කියලා.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සෙ පළවෙනි ධ්‍යානයට සමවැදුනා. පළවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා දෙවෙනි ධ්‍යානයට සමවැදුනා. දෙවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා තුන්වෙනි ධ්‍යානයට සමවැදුනා. තුන්වෙනි ධ්‍යානයෙන් නැගී සිටලා හතරවෙනි ධ්‍යානයට සමවැදුනා. හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුනා. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී සිටලා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුනා. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී සිටලා, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුනා. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සිටලා, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුනා. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සිටලා, නිරෝධ සමාපත්තියට සමවැදුනා.
නිරෝධ සමාපත්තියෙන් නැගී සිටලා, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුනා. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සිටලා, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුනා. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සිටලා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුනා. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී සිටලා, ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුනා. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී සිටලා, හතරවෙනි ධ්‍යානයට සමවැදුනා. හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, තුන් වෙනි ධ්‍යානයට සමවැදුනා. තුන්වෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, දෙවෙනි ධ්‍යානයට සමවැදුනා. දෙවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, පළවෙනි ධ්‍යානයට සමවැදුනා.
පළවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, දෙවෙනි ධ්‍යානයට සමවැදුනා. දෙවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා, තුන්වෙනි ධ්‍යානයට සමවැදුනා. තුන් වෙනි ධ්‍යානයේ නැගී සිටලා හතරවෙනි ධ්‍යානයට සමවැදුනා. හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවාත් සමඟම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළා.
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමඟම, සහම්පතී බ්‍රහ්මයා මේ ගාථාව පැවසුවා.
“මේ ලෝකයේ කිසි පුද්ගලයකුට සමාන නැති, තථාගත වූ, තථාගත බලයන්ට පැමිණ වදාළ, සම්බුදු වූ, මෙබඳු ශාස්තෘන් වහන්සේ පවා පිරිනිවන් පෑ සේක් නම්, එපරිද්දෙන්ම මේ ලෝකයේ උපන් හැම සත්වයෙක්ම මේ ශරීර අත්හැරලා දානවා.”
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමඟම ශක්‍ර දේවේන්‍ද්‍රයනුත් මේ ගාථාව පැවසුවා.
“ඒකාන්තයෙන්ම සියලු සංස්කාර අනිත්‍යයි. හටඅරගෙන, වැනසිලා යන ස්වභාවයෙන් යුක්තයි. හටගන්නවා වගේම නැසී යනවා. ඒ ස්වභාවය සදහටම සංසිඳී යාමයි සැපය.”
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමඟම ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළා.
“සියලු ගුණසම්පත්තියෙන් පිරිපුන් සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ මොහොතේ, (තුන් ලොවටම තිබූ රැකවරණය නැති වූ නිසා) බිහිසුණු බවක් ඇති වුනා. ලොමු දැහැගැන්වුනා.”
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමඟම ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ මේ ගාථාවන් ප්‍රකාශ කළා.
“අමා නිවනේ පිහිටි සිත් ඇති, අකම්පිත සිත් ඇති මුනිඳාණන්ගේ ආශ්වාස ප්‍රශ්වාස නැතිවෙලා ගියා. තණ්හා රහිත වූ, සදහම් ඇස් ඇති, බුදු සමිඳුන් ඒ අමා නිවන අරමුණු කරගෙන පිරිනිවන් පා වදාළා.
ප්‍රබෝධමත් සිතින්මයි වේදනාවන් ඉවසුවේ. ඒ විමුක්ති සිත නිවිලා ගියේ, පහනක් නිවිල යනවා වගේ.”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි පරිනිබ්බාණ වර්ගය අවසන් විය.
බ්‍රහ්ම සංයුත්තය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M