සැවැත් නුවරදී ………………………….
ඒ දවස්වල කෝකාලික භික්‍ෂුව ආබාධ හට අරගෙන, දුකට පත් වෙලා ගොඩාක් ලෙඩ වෙලයි හිටියෙ. එදා තුදු කියන පච්චේක බ්‍රහ්මයා බබලන සිරුරින් යුතුව, ඒ රාත්‍රිය පහන්වීගෙන එනකොට මුළු ජේතවනයම බබුලුවාගෙන, කෝකාලික භික්‍ෂුව සිටි තැනට ආවා. ඇවිල්ල අහසේ සිටිමින්ම, කෝකාලික භික්‍ෂුවට මෙහෙම කිව්වා.
“කෝකාලික, සැරියුත් මුගලන් පින්වතුන් වහන්සේලා ගැන සිත පහදවගන්න. ඒ සැරියුත් මුගලන් පින්වතුන් වහන්සේලා ගොඩාක් ප්‍රිය මනාපයි කියලා.”
(කෝකාලික භික්‍ෂුව) :
“ඒයි ආයුෂ්මත, ඔබ කවුද?”
(තුදු පච්චේක බ්‍රහ්ම) :
“මම තමයි තුදු කියන පච්චේක බ්‍රහ්මයා.”
(කෝකාලික භික්‍ෂුව) :
“හැබෑටම ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ වදාළා නෙවද ඔබ අනාගාමී කෙනෙක්ය කියලා. ඉතින් එහෙව් එකේ මොකටද මෙහෙ ආවේ? බලන්න, මොකක්ද ඔබ මේ කරපු කමකට නැති දේ?”
(එතකොට තුදු පච්චේක බ්‍රහ්මයා ගාථාවලින් මෙහෙම කිව්වා.)
“අඥාන මිනිසා උපදින කොටම, කටේ කෙටේරියකුත් උපදිනවා. ඉතින් ඒ අඥානයා ඒ කෙටේරියෙන් දුෂ්ට වචන කියමින් තමන්ව නසාගන්නවා.
යම් කෙනෙක් නින්දා කළ යුතු කෙනාව ප්‍රශංසා කරනවා නම්, ප්‍රශංසා කළ යුතු කෙනාට නින්දා කරනවා නම්, ඒ කෙනා වචනයෙන් ගොඩාක් පව් රැස් කරනවා. ඒ රැස් කරගන්න පාපය නිසා, ඔහුට කවදාකවත් සැපක් නම් ලැබෙන්නෙ නෑ.
සූදු කෙලියෙන් සිද්ධවන පරාජය නිසා, තමනුත් සමඟම තමන්ගේ සියලුම වස්තුව නැතිවෙලා යන්න පුළුවනි. නමුත් ඒ හානිය ඉතා සුළු දෙයක්. ඒ වුනත් යම් කෙනෙක් රහතන් වහන්සේලා කෙරෙහි සිත දූෂිත කරගත්තොත්, අන්න ඒක තමයි තමන්ට කරගන්න ලොකුම අපරාධය.
අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක්, උතුම් වූ ආර්යන් වහන්සේලාට ගරහනවා නම්, වචනෙනුත්, සිතෙනුත් කරගන්න ඒ පාපය නිසා, ඔහු නිරයේ උපදිනවා. එහෙදි නිරබ්බුද ලක්‍ෂයක්, තිස් හයක්, තව අබ්බුද පහක කාලයක්, දුක් විඳින්න සිද්ධ වෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M