සැවැත් නුවරදී ………………………….
එදා කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, ඔය සැරියුත්, මුගලන් දෙනම පාපී ආශාවන්ගෙන් යුක්තයි. පාපී ආශාවන්ට වසඟ වෙලයි ඉන්නෙ.”
ඔය විදිහට කිව්වම, භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට පැවසුවේ මෙහෙමයි.
“හා! හා! කෝකාලික, ඔහොම කියන්න එපා. හා! හා! කෝකාලික, ඔහොම කියන්න එපා. කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ගැන හිත පහදවාගන්න. ඔය සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම ඉතා ප්‍රියශීලී දෙනමක් නෙව.”
දෙවන වතාවේදී කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගැන මගේ පැහැදිමක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. ඒ වුනාට, ඔය සැරියුත්, මුගලන් දෙනම නම් පාපී ආශාවන්ගෙන් යුක්තයි. ඒ දෙනම පාපී ආශාවන්ට වසඟ වෙලයි ඉන්නෙ.
දෙවන වතාවෙදීත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මේ විදිහට පැවසුවා.
“හා! හා! කෝකාලික ඔහොම කියන්න එපා. හා! හා! කෝකාලික ඔහොම කියන්න එපා. කෝකාලික ඔය සැරියුත්, මුගලන් දෙනම ගැන හිත පහදවාගන්න. ඔය සැරියුත්, මුගලන් දෙනම ගොඩාක් ප්‍රියශීලී දෙනමක්.”
තුන්වෙනි වතාවෙදිත් කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා …. (පෙ) …. පාපී ආශාවන්ට වසඟ වෙලා ඉන්නෙ කියලා.
තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මේ විදිහට වදාළා …. (පෙ) …. සැරියුත්, මුගලන් දෙනම ගොඩාක් ප්‍රියශීලියි කියල.
එතකොට කෝකාලික භික්‍ෂුව අසුනෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. පිටත් වෙලා ගියා. ගිහින් සුළු වෙලාවකින් කෝකාලික භික්‍ෂුවගේ මුළු ඇඟේම අබ ඇට විතර බිබිලි හටගත්තා. ඒ අබ ඇට විතර බිබිලි මුං ඇට තරමට ලොකු වුනා. මුං ඇට තරම් වෙච්ච ඒ බිබිලි කඩල ඇට තරමට ලොකු වුනා. කඩල ඇට තරමට වෙච්ච ඒ බිබිලි ඩෙබර ඇට තරමට ලොකු වුනා. ඩෙබර ඇට තරමට ලොකු වෙච්ච ඒවා නෙල්ලි ගෙඩි තරමට ලොකු වුනා. නෙල්ලි ගෙඩි තරමට ලොකු වෙච්ච ඒවා බෙලි ගැට තරමට ලොකු වුනා. බෙලි ගැට තරමට ලොකු වෙච්ච ඒවා, බෙලි ගෙඩි තරමට ලොකු වුනා. අන්තිමේදී ඒව බෙලි ගෙඩි තරම් වෙලා පිපිරිලා ගියා. ලේත්, සැරවත් ගලන්න පටන් ගත්තා. ඉතින් කෝකාලික භික්‍ෂුව ඒ අසනීපයෙන්ම මරණයට පත්වුනා. මරණයට පත් වුන ඒ කෝකාලික භික්‍ෂුව සාරිපුත්ත, මොග්ගල්ලාන පින්වතුන් වහන්සේලා දෙනම ගැන සිතින් වෛර බැඳගෙන, පදුම නිරයේ ඉපදුනා.
එදා සහම්පතී බ්‍රහ්මයා රැය පහන් වන වෙලාවේ, බබලන සිරුරින් යුතුව, මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් සිටිය සහම්පතී බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, කෝකාලික භික්‍ෂුව කළුරිය කළා. ස්වාමීනි, කළුරිය කළ කෝකාලික භික්‍ෂුව, සැරියුත්, මුගලන් පින්වතුන් වහන්සේලා ගැන හිතෙන් වෛර බැඳගෙන, පදුම නිරයේ ඉපදුනා.” සහම්පතී බ්‍රහ්මයා මෙහෙම කිව්වා. මෙහෙම කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සෙ ඒ රාත්‍රිය ඇවෑමෙන්, භික්‍ෂුසංඝයා ඇමතුවා.
“පින්වත් මහණෙනි, මේ රාත්‍රියේදී, මේ රැය පහන් වෙද්දි, සහම්පතී බ්‍රහ්මයා බබලන සිරුරෙන් යුක්තව මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන මං ළඟට ආවා. ඇවිදින් මට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ සහම්පතී බ්‍රහ්මයා මට මෙහෙම කිව්වා. “ස්වාමීනි, කෝකාලික භික්‍ෂුව කළුරිය කළා. ස්වාමීනි, කළුරිය කරපු කෝකාලික භික්‍ෂුව සැරියුත්, මුගලන් පින්වතුන් වහන්සේලා ගැන හිතෙන් වෛර බැඳගෙන, පදුම නිරයේ ඉපදුනා. පින්වත් මහණෙනි, සහම්පතී බ්‍රහ්මයා මට ඔය විදිහට කිව්වා. එහෙම කියල මට වන්දනා කළා. පැදකුණු කළා. එතනම නොපෙනී ගියා.”
එතකොට, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ස්වාමීනි, පදුම නිරයේ ආයුෂ කොච්චර දිගයිද?”
“පින්වත් භික්‍ෂුව, පදුම නිරයේ ආයුෂ ප්‍රමාණය ගොඩාක් දිගයි. අවුරුදු මෙච්චරයි කියල හරි, අවුරුදු දහස් ගණනින් මෙච්චරයි කියල හරි, අවුරුදු ලක්ෂ ගණනින් මෙච්චරයි කියල හරි, ගණන් කරල කෙළවර කරන එක ලේසි නෑ.”
“ස්වාමීනි, (ඒ ගැන) උපමාවක් කරන්න පුළුවන්ද?”
“පින්වත් භික්‍ෂුව, පුළුවනි” කියල භාග්‍යවතුන් වදාළා.
“පින්වත් භික්‍ෂුව, මේ කොසොල් රටේ තියෙනවා කියල හිතන්න විසි කාරියක තල පුරෝපු කරත්තයක්. ඉතින් මනුස්සයෙක් ඔතනට එනවා. ඇවිදින්, සියක්, සියක් අවුරුද්දකට වතාවක් එක තල ඇටය බැගින් ඉවත් කරනවා. පින්වත් භික්ෂුව, ඒ කොසොල් රටේ විසි කාරියක තල පිර වූ කරත්තය ඔය ක්‍රමයෙන් ඉක්මනින්ම ඉවර වෙලා යනවා. නමුත්, එකම අබ්බුද නිරයක්වත් එහෙම ඉවර වෙන්නෙ නෑ. පින්වත් භික්‍ෂුව, ඔය අබ්බුද නරකාදි විස්සක් ගෙවෙන කාලය එකම එක නිරබ්බුද නිරයේ ආයුෂයි. පින්වත් භික්ෂුව, ඒ නිරබ්බුද නිරය විස්සක කාලය, එකම එක අබබ නරකාදියට තියෙනවා. පින්වත් භික්ෂුව, ඒ අබබ නරකාදි විස්සක කාලය එකම එක අටට නරකාදියට තියෙනවා. පින්වත් භික්ෂුව, ඒ අටට නරකාදි විස්සක කාලය එකම එක අහහ නරකාදියට තියෙනවා. පින්වත් භික්‍ෂුව, අහහ නරකාදි විස්සක කාලය එකම එක කුමුද නිරයට තියෙනවා. පින්වත් භික්‍ෂුව, කුමුද නිරයවල් විස්සක කාලය, එකම එක සෝගන්ධික නිරයට තියෙනවා. පින්වත් භික්‍ෂුව, සෝගන්ධික නරකාදි විස්සක කාලය එකම එක උප්පල නිරයට තියෙනවා. පින්වත් භික්‍ෂුව, උප්පල නරකාදි විස්සක කාලය එකම එක පුණ්ඩරීක නිරයට තියෙනවා. පින්වත් භික්ෂුව, ඒ පුණ්ඩරීක නරකාදි විස්සක කාලය එකම එකම පදුම නිරයට තියෙනවා. පින්වත් භික්‍ෂුව, අන්න ඒ පදුම නිරයේ තමයි කෝකාලික භික්‍ෂුව උපන්නෙ. (ඒ කෝකාලික භික්‍ෂුව, සැරියුත්, මුගලන් දෙනම ගැන වෛර බැඳගත්තු සිතක් ඇතිකරගත්තා නෙව.)”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් ද වදාළා.
“අඥාන පුරුෂයා උපදිනකොටම කටේ කෙටේරියකුත් හටගන්නවා. ඉතින්, ඒ අඥානයා දුෂ්ට වචන කියමින් ඒ කෙටේරියෙන් තමන්වම වනසාගන්නවා.
යම් කෙනෙක් නින්දා ලැබිය යුත්තා ප්‍රශංසා කරනවා නම්, ප්‍රශංසා ලැබිය යුත්තාට නින්දා කරනවා නම්, ඔහු කට නිසා පව් රැස් කරගන්නවා. ඒ හේතුවෙන් ඔහුට සැපයක් නම් ලැබෙන්නෙ නෑ.
යමෙක් සූදු කෙළියට ගිහින්, තමාත් සමඟම සියලු ධනය පැරදුනත්, ඒ හානිය සුළු දෙයක්. නමුත්, යම් කෙනෙක් රහතන් වහන්සේලා ගැන හිත දූෂිත කරගත්තොත් ඒක තමයි තමන්ගේ ජීවිතයට සිදුවෙන විශාලම හානිය.
ආර්යන් වහන්සේලාට ගරහන පුද්ගලයා, පාපී විදිහට වචනත්, සිතත්, පිහිටුවා ගත්තොත්, ඔහු උපදින්නෙ නරකාදියේ. ඒ නිරයේ, නිරබ්බුද ලක්‍ෂයක, ඒ වගේම තිස් හයක, අබ්බුද පහක ආයුෂ තියෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පළමු වෙනි කෝකාලික වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M