මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දවල් කාලය විවේකයෙන් ගත කරන්න වැඩම කරල, භාවනාවෙන් වැඩසිටියා. පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්මද, පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාසද භාග්‍යවතුන් වහන්සේ කරා ආවා. ඇවිදින් වෙන වෙනම දොර කවුළුව අසල හිටගත්තා. එතකොට සුබ්‍රහ්ම පච්චේක බ්‍රහ්මයා සුද්ධාවාස පච්චේක බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. ‘නිදුකාණෙනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සමඟ කතාබස් කරන්න කාලය නොවෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ දවල් කාලෙ භාවනාවෙන් වැඩඉන්නෙ. අසවල් බ්‍රහ්ම ලෝකෙ ඉර්ධිමත් වූ, සමෘද්ධිමත් වූ බ්‍රහ්මයෙක් ඉන්නවා. ඔහු ප්‍රමාදයෙන් කල් ගෙවනවා. නිදුකාණෙනි, ඔබ එන්න. අපි ඒ බ්‍රහ්ම ලෝකෙට යමු. ගිහින් ඒ බ්‍රහ්මයාට සංවේගය ඇතිකරවමු.’
ඉතින් සුබ්‍රහ්මා පච්චේක බ්‍රහ්මයත්, සුද්ධාවාස පච්චේක බ්‍රහ්මයත්, බලවත් කෙනෙක් හකුලපු අතක් දිගහරින වේගෙන්, දිගහැරපු අතක් හකුලන වේගෙන්, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදහන් වුනා. අර බ්‍රහ්මලෝකේ පහළ වුනා.
එතකොට ඒ බ්‍රහ්මයා දැක්ක දුරින්ම පැමිණෙන අර බ්‍රහ්මයන්ව. දැකල, ඒ බ්‍රහ්මයන්ගෙන් මෙහෙම ඇහුවා. “නිදුකාණෙනි, දැන් ඔබ කොහේ ඉඳලද එන්නෙ.” “නිදුකාණෙනි, දැන් අපි එන්නෙ ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ලඟ ඉඳලයි. නිදුකාණෙනි, ඔබත් යනවාද ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න?”
මෙහෙම කිව්වට පස්සෙ, අර ප්‍රමාදී බ්‍රහ්මයාට මේ වචනෙ රුස්සන්නෙ නැතුව ගියා. තමන් වගේ දහස් වරක් මවාගෙන, පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්මට මෙහෙම කිව්වා. “නිදුකාණෙනි, පේනවා නේද මගේ මේ ඉර්ධි බල පරාක්‍රමය” කියලා.
“ඔව්. නිදුකාණෙනි, මට පේනවා. ඔබේ ඔය ඉර්ධි බල පරාක්‍රමය.”
“ඉතින් නිදුකාණෙනි, මෙච්චර ඉර්ධි බල තියෙන මම, වෙන ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට උපස්ථාන කරන්න යන්නද?”
ඊට පස්සෙ සුබ්‍රහ්මා පච්චේක බ්‍රහ්මයා තමන් වගේ දෙදහසක් මවාගෙන, ඒ බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. “නිදුකොණනි, පේනවාද මගෙත් තියෙන මේ ඉර්ධි බල පරාක්‍රමය” කියලා.
“ඔව්. නිදුකාණනි, මටත් පේනව ඔබේ ඔය ඉර්ධි බල පරාක්‍රමය.”
“නිදුකාණෙනි, ඔබටත්, මටත් වඩා, ඒ භාග්‍යවතුන් වහන්සේම මහා ඉර්ධි බල සම්පන්නයි. මහා ආනුභාව සම්පන්නයි. ඒ නිසා නිදුකාණෙනි, ඔබත් යන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න.”
ඊට පස්සේ ඒ ප්‍රමාදී බ්‍රහ්මයා, සුබ්‍රහ්මා පච්චේක බ්‍රහ්මයාට ගාථාවකින් කිව්වා.
“ඒයි බ්‍රහ්මය, ධ්‍යාන වඩන්නා වූ මට පහළ වෙච්ච බ්‍රහ්ම විමානය උතුරු දිශාවෙ තියෙන්නෙ. ආලෝකයෙන් බබලනවා. ඒ විමානෙ ගුරුළන් තුන්සීයක් ඉන්නවා. හංසයන් හාරසීයක් ඉන්නවා. ව්‍යාඝ්‍රයන් පන්සීයක් ඉන්නවා. (එබඳු සතුන්ගෙන් අලංකාර වූ දිව්‍ය විමානයක් තියෙන මං වෙන කාට නම් උපස්ථාන කරන්නද?)”
(පිළිතුරු ගාථාවකි)
“උතුරු දිශාවේ තියෙන කොච්චර ආලෝකවත් වුනත්, කොච්චර බැබලුනත්, ඔය රූපයෙහි දෝෂයත් හැම තිස්සෙම ඇති කම්පනයත් දකින, ප්‍රඥාවන්තයා රූපයට ඇලෙන්නෙ නෑ.”
ඊට පස්සෙ, සුබ්‍රහ්මා පච්චේක බ්‍රහ්මයත්, සුද්ධාවාස පච්චේක බ්‍රහ්මයත්, ඒ ප්‍රමාදී බ්‍රහ්මයාව සංවේගයට පත්කරවල, එහි අතුරුදහන් වුනා. පස්සෙ කාලෙක ඒ ප්‍රමාදී බ්‍රහ්මයත් භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න යන්න පටන් ගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M