සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.8. සීසූපචාලා සුත්තං

5.1.8. සීසූපචාලා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවරදී ………………………

අථ ඛෝ සීසූපචාලා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි. දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා යේන සීසූපචාලා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා සීසූපචාලං භික්‌ඛුනිං ඒතදවෝච. කස්‌ස නු ත්‌වං භික්ඛුනී පාසණ්‌ඩං රෝචේසීති?

එදා සීසූපචාලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුණා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.

එතකොට පවිටු මාරයා සීසූපචාලා භික්ෂුණිය ළඟට ආවා. ඇවිදින් සීසූපචාලා භික්ෂුණියට මෙහෙම කිව්වා.

“ඒයි භික්ෂුණී, ඔයි කොයි තාපසයාගේ මතවාදයටද කැමති?”

(සීසූපචාලා);

(සීසූපචාලා භික්ෂුණිය) :

න ඛ්‌වාහං ආවුසෝ කස්‌සචි පාසණ්‌ඩං රෝචේමීති.

“ආයුෂ්මත, මට ඔය කොයි තාපසයන්ගෙවත් මතවාද ඕන නෑ.”

(මාරෝ);

(මාරයා):

කින්නු උද්‌දිස්‌ස මුණ්‌ඩාසි සමණී විය දිස්‌සසි
න ච රෝචේසි පාසණ්‌ඩං කිමිව චරසි මෝමූහාති

“ඒ මොකද? හිස මුඩු කරල නේද ඉන්නෙ. ශ්‍රමණියක් වගෙයි පේන්නෙ. කවුරු උදෙසාද හිස මුඩු කළේ? තාපසයෙකුගේ මතවලට කැමති නෑ නේද? මෝඩියෙක් වගේ හැසිරෙන්නෙ මොකද?”

(සීසූපචාලා);

(සීසූපචාලා භික්ෂුණිය) :

ඉතෝ බහිද්‌ධා පාසණ්‌ඩා දිට්‌ඨීසු පසීදන්‌ති තේ
න තේසං ධම්‌මං රෝචේමි න තේ ධම්‌මස්‌ස කෝවිදා.

“මේ බුදු සසුනෙන් පිට තමයි ඔය තාපසයො ඉන්නෙ. ඔවුන් මතවාදවල ගිලිලා ඉන්නෙ. මං ඔවුන්ගේ ධර්මවලට කැමති නෑ. හැබෑ ධර්මය තෝරාගන්න ඔවුන් දක්ෂත් නෑ.

අත්‌ථි සක්‍යකුලේ ජාතෝ බුද්‌ධෝ අප්‌පටිපුග්‌ගලෝ
සබ්‌බාභිභූ මාරනුදෝ සබ්‌බත්‌ථමපරාජිතෝ
සබ්‌බත්‌ථ මුත්‌තෝ අසිතෝ සබ්‌බං පස්‌සති චක්‌ඛුමා

ශාක්‍ය වංශයේ පහළ වී වදාළ ලොව කිසිවෙකුට සමාන නැති බුදු සමිඳුන් ඉන්නවා. උන්වහන්සේ හැමදෙයක්ම අභිභවනය කළා. මරු සෙනඟ නෙරපා දැම්මා. හැම තැනකදීම අපරාජිතයි. හැමදේකින්ම නිදහස් වුනා. කෙලෙස් රහිතයි. දහම් ඇස් ඇති ඒ බුදු සමිඳුන්ට හැම දෙයක්ම පේනවා.

සබ්‌බකම්‌මක්‌ඛයප්පත්‌තෝ විමුත්‌තෝ උපධිසංඛයේ
සෝ මය්‌හං භගවා සත්‌ථා තස්‌ස රෝචේමි සාසනන්‌ති.

උන්වහන්සේ හැම කර්මයක්ම ක්ෂය කරල, නිවනට පත් වුනා. දුකෙන් නිදහස් වුනා. කෙලෙස් ගෙවා දැම්මා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මාගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේගේ ශාසනයට මං හරි කැමතියි.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා, …. (පෙ) …. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M