සැවැත් නුවරදී ………………………
එදා උපචාලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයා උපචාලා භික්ෂුණිය ළඟට ආවා. ඇවිදින් උපචාලා භික්ෂුණියට මෙහෙම කිව්වා.
“හා! භික්ෂුණී, ඔයා කොහේ උපදින්නටද කැමති?”
(උපචාලා භික්ෂුණිය) :
“ආයුෂ්මත, මම නම් කොහේවත් උපදින්න කැමති නෑ.”
(මාරයා) :
“ඒ මොකද? ඔය තව්තිසාව, යාමය, තුසිතය වගේ තැන්වල දෙවිවරු ඉන්නවා. නිම්මාණරතී, පරනිම්මිත වසවත්තී දෙවිවරු ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන්නෙ ඒ වගේ තැනක හිත පිහිටුවාගන්න. ඔයාට පංචකාම සැප විඳින්න පුළුවන්නෙ.”
(උපචාලා භික්ෂුණිය) :
“තව්තිසාව, යාමය, තුසිතය කියන තැන්වල දෙවිවරු ඉන්නවා තමයි. නිම්මාණරතී, පරනිම්මිත වසවත්ති ලෝකවලත් දෙවිවරු ඉන්නවා තමයි. ඒ ඔක්කොම කාම බන්ධනයට අහුවෙලයි ඉන්නෙ. ඒ උදවිය ආයෙමත් මාරයාගේ වසඟයට යනවා.
මුළු ලෝකෙම ගිනි ඇවිලිලා තියෙන්නෙ. මුළු ලෝකෙම දුම් දානවා. මුළු ලෝකෙම ගින්නෙන් දිලිසෙනවා. මුළු ලෝකෙම කම්පා වෙනවා.
නමුත් අකම්පිත වූ, ගිනි නොගන්න, පෘථග්ජන නොවන අය විසින් සේවනය කරන මාරයාට යන්න බැරි තැනක් තියෙනවා. අන්න ඒ අමා නිවනට තමයි මගේ සිත ඇලුනෙ.”
එතකොට පවිටු මාරයා, …. (පෙ) …. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M