සැවැත් නුවරදී ………………………
එදා උප්පලවණ්ණා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළට ගිහිල්ලා මල් පිපී ගිය එක්තරා සල් රුක්සෙවනක වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “උප්පලවණ්ණා භික්ෂුණියව භය කරවන්න ඕන. තැතිගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා උප්පලවණ්ණා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් උප්පලවණ්ණා භික්ෂුණියට ගාථාවක් කිව්වා.
“ඒයි භික්ෂුණී, මුළ පටන් අගටම මල් පිපිච්ච සල් රුකක් මුළට නෙව ඔයා ඇවිත් ඉන්නෙ. හැබැයි ඉතින් ඔයාගේ රූප ලස්සනේ හා සමාන දෙවෙනි රූපයක් නම් නෑ. හැබැයි ඉතින් මෙහෙට ආපු අනෙක් කාන්තාවොත් ඔය විදිහම තමයි. (මෙයින් අදහස් කරන්නේ ඔවුන් වීතරාගී බවයි) ඒයි මෝඩි, ඔයා සල්ලාලයන්ට භය නැද්ද?”
එතකොට උප්පලවණ්ණා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් උප්පලවණ්ණා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් උප්පලවණ්ණා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.
“ඒයි මාරය, ඔබ වැනි සල්ලාලයෝ ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහක් සොලවන්න බෑ. මං තැතිගන්නෙ නෑ. මං මේ තනියම හිටියත් ඔබට භයත් නෑ.
මං දැන් අතුරුදහන් වෙනවා. ඔබේ බඩ ඇතුළට රිංගනවා. ඇහි බැම මැද්දට රිංගනවා. නහයෙනුත් රිංගනවා. එතකොට ඔබට මාව දකින්න බෑ.
මේ සිත මට වසඟ වෙලයි තියෙන්නෙ. මං ඉර්ධිපාද හොඳට වඩලයි තියෙන්නෙ. සියලු බන්ධන වලින් නිදහස් වෙලයි මං ඉන්නෙ. ආයුෂ්මත, මං ඔබට භය නෑ.”
එතකොට පවිටු මාරයා, ‘උප්පලවණ්ණා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M