සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.3. ගෝතමී සුත්තං

5.1.3. කිසාගෝතමී භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ………………………

අථ ඛෝ කිසාගෝතමී භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි. දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා කිසාගෝතමියා භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ යේන කිසාගෝතමී භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා කිසාගෝතමිං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි.

එදා කිසාගෝතමී භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.

එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “කිසාගෝතමී භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා කිසාගෝතමී භික්ෂුණිය ළඟට ගියා. ගිහින් කිසාගෝතමී භික්ෂුණියට ගාථාවක් කිව්වා.

කින්නු ත්‌වං හතපුත්‌තාව ඒකමාසි රුදම්‌මුඛී
වනමජ්‌ඣගතා ඒකා පුරිසං නු ගවේසසීති.

“හා! ඔය මොකද? දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මූණත් එල්ලගෙන, තනියම ඉන්නෙ මොකද? මේ වනාන්තරේ ඇතුළට ඇවිල්ල මිනිහෙක්ව හොයන්න ආවද?”

අථ ඛෝ කිසාගෝතමියා භික්‌ඛුනියා ඒතදහෝසි. කෝ නු ඛ්‌වායං මනුස්‌සෝ වා අමනුස්‌සෝ වා ගාථං භාසතීති? අථ ඛෝ කිසාගෝතමියා භික්‌ඛුනියා ඒතදහෝසි. මාරෝ ඛෝ අයං පාපිමා මම භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ ගාථං භාසතීති. අථ ඛෝ කිසාගෝතමී භික්ඛුනී මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි පච්‌චභාසි.

එතකොට කිසාගෝතමී භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් කිසාගෝතමී භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් කිසාගෝතමී භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.

අච්‌චන්‌තං මතපුත්‌තා’ම්‌හි පුරිසා ඒතදන්‌තිකා
න සෝචාමි න රෝදාමි න තං භායාමි ආවුසෝ.

“ඇත්ත වශයෙන්ම මං දරුවන් මැරුණු කෙනෙක් තමයි. මිනිස්සුන්වත් ඒ පැත්තටම දීලයි ඉන්නෙ. මං ශෝක කරන්නෙ නෑ. මං අඬන්නෙ නෑ. ඒ වගේම ආයුෂ්මත, මං ඔබට භයත් නෑ.

සබ්‌බත්‌ථ විහතා නන්‌දි තමොක්‌ඛන්‌ධෝ පදාලිතෝ
ජෙත්‌වාන මච්‌චුනෝ සේනං විහරාමි අනාසවාති.

හැමදෙයක් ගැනම තිබුනු තණ්හාව නැතිකරලා දැම්මා. අවිද්‍යා අන්ධකාරය බිඳලා දැම්මා. මාර සේනාව ජයගත්තා. මං දැන් ඉන්නෙ ආශ්‍රව රහිතවයි.”

අථ ඛෝ මාරෝ පාපිමා ජානාති මං කිසාගෝතමී භික්‌ඛුනීති දුක්‌ඛී දුම්‌මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා, ‘කිසාගෝතමී භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M