මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක් මුලයි වැඩසිටියේ. ඒ දිනවල පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේගේ දුර්වලකමක් බලාපොරොත්තුවෙන් හත් අවුරුද්දක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස්සේ ලුහුබැන්ඳා. නමුත් දුර්වලකමක් අහුවුනේ නෑ.
එදා පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“මොකද ශෝකයේ ගිලිලද මේ වනයට වෙලා හිත හිත ඉන්නෙ? ධන හානියක් වුනාවත්ද? වෙන පැතුමක්වත්ද? ගමේ ඉන්දෙද්දී මොකවත් වරදක් වත් කළා ද? මොකද ජනයාත් එක්ක මිත්‍රකමක් නැත්තේ? ඔබවහන්සේ කවුරුවත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්නෙ නෑ නේද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඒයි මාරය, මං ඔය ශෝකය මුලින්ම උදුරලා දැම්මා. හැම වරදින්ම නිදහස් වුනා. මං ධ්‍යාන වඩන්නෙ ශෝක රහිතවයි. හැම භවයක්ම, හැම ලෝභයක්ම, හැම තෘෂ්ණාවක්ම සිඳල, ආශ්‍රව රහිත වෙලයි මං ධ්‍යාන වඩන්නේ”
(මාරයා) :
“යමක් ගැන කියනවා නම්, ‘මේක මගේ’ කියල යම් කෙනෙක් කියනවා නම් ‘මේක මට අයිතියි’ කියලා, ඒවා ගැන ඔබේ හිතක් තියෙනවා නම් ශ්‍රමණය, මගෙන් නම් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යමක් ගැන කියනවා නම් ‘මගේය’ කියල, නමුත් ඒක මගේ නොවෙයි. යමෙක් කියනවා නම් ඒවා ‘මම නොවෙයි’ කියලා, පවිටු මාරය, ඒ ගැන මේ විදිහට දැනගන්න ඕන. මං ගමන් කරන මගවත් ඔබට දකින්න බෑ.”
(මාරයා) :
“එහෙම නම්, ඒ බිය රහිත වූ, අමා නිවනට යන මාර්ගය අවබෝධ කරගත්තා නම්, මගේ විෂයෙන් ඔබවහන්සේ විතරක් ඉවත් වෙලා යන්න. අනිත් අයට අනුශාසනා කරන්නෙ මොකද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සසරෙන් එතෙරට යන්න ඕනකම තියෙන ජනතාවක් ඉන්නවා. මාර විජිතයට අයිති නැති ඒ නිවන ගැන ඔවුන් මගෙන් අහනවා. එතකොට මං ඔවුන්ට කෙලෙස් රහිත වූ, ඒ සත්‍යය ගැන කියල දෙනවා.”
(මාරයා) :
“ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. ගමකට හරි, කුඩා නගරයකට හරි නුදුරින් පොකුණක් තියෙනවා. ඒකෙ කකුළුවෙක් ඉන්නවා. එතකොට ස්වාමීනී, පොඩි දරුවන් දැරිවියන් ගොඩක් ඒ ගමෙන් හරි, කුඩා නගරයෙන් හරි නික්මිලා ඇවිදින් අර පොකුණ ළඟට ආවා. ඇවිදින් ඒ කකුළුවාව වතුරෙන් උඩට අරගෙන, ගොඩබිමින් තිබ්බා. ඉතින් ඒ කකුළුවත් අඬු දිගහරිනවා. එතකොට ඒ දරුවොත්, දැරිවියොත් ලී කෑලිවලින් ඒ අඬු කඩලා දැම්මා. ඔය විදිහට අඬු කඩපු කකුළුවාට ඉස්සර විදිහට ආයෙමත් පොකුණට බහින්න බැරිව ගියා.
ස්වාමීනී, ඔය විදිහම තමයි, යම්තාක් විකාර දේවල්, යම්තාක් හිත අවුස්සන දේවල්, හිත කම්පා වන දේවල් තියෙනවාද, ඒ හැමදෙයක්ම භාග්‍යවතුන් වහන්සේ කඩලා දැම්මා. කෑලි කෑලිවලට කඩලා දැම්මා. දැන් ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ දුර්වලකමක් හොයාගෙන ළඟට එන්න මට පුළුවන්කමක් නෑ.”
එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ තමන් පසුබැස්ස කරුණ ගැන කියවෙන ගාථාවන් පැවසුවා.
“කපුටෙක් හිටියා. ඌ දැක්කා තෙල් පාට ගලක්. දැකලා හිතුවා ඒක මෘදු කෑමක් වෙන්න ඇති කියලා. රස විඳින්න පුළුවන් ඇති කියලා. ඒ වටා කොටන්න පටන් ගත්තා. නමුත් ඒ ගලෙන් ආශ්වාදයක් ලබාගන්න බැරි කපුටා එතනින් බැහැරවෙලා ගියා. මමත් ඒ ගලට රැවටිච්ච කපුටා වගේ කළකිරිලයි ගෞතමයන් වහන්සේ කෙරෙන් ඉවත් වෙලා යන්නෙ.”
ඊට පස්සේ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ඔය උකටලී වන ගාථාවන් පවසලා එතනින් නික්ම ගියා. භාග්‍යවතුන් වහන්සේට නුදුරින්, පොළොවේ පළඟක් බැඳගෙන වාඩිවුනා. නිශ්ශබ්ද වුනා. වැටහීම් රහිත වුනා. කඳ පාත්කර ගත්තා. ඔළුව යටට හරවාගත්තා. සිතුවිලි හිතන්න පටන් ගත්තා. ලී කෑල්ලක් අරගෙන බිම ඉරි අඳින්න පටන්ගත්තා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M