මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපය නම් වූ වේළුවනයේ වැඩසිටියේ.
ඒ දිනවල ආයුෂ්මත් ගෝධික තෙරුන් වාසය කළේ ඉසිගිලි පර්වත බෑවුමේ කාලසිලා කියන ගල්තලාවේ. ඒ වෙනකොට ආයුෂ්මත් ගෝධික තෙරුන් කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා, ලෞකික සමාපත්තියක් ලබාගත්තා. නමුත් ආයුෂ්මත් ගෝධික තෙරුන් ඒ ලෞකික සමාපත්තියෙන් පිරිහුනා.
දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් අප්‍රමාදීව …. (පෙ) …. වාසය කරද්දී ලෞකික සමාපත්තියක් ලබාගත්තා. දෙවෙනි වතාවෙත් ආයුෂ්මත් ගෝධික තෙරුන් ඒ සමාපත්තියෙන් පිරිහුනා. තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් …. (පෙ) …. පිරිහුනා. හතරවෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් …. (පෙ) ….. පිරිහුනා. පස්වෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් …. (පෙ) …. පිරිහුනා. හයවෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් …. (පෙ) …. පිරිහුනා.
හත්වෙනි වතාවටත් ආයුෂ්මත් ගෝධික තෙරුන් කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා, ලෞකික සමාපත්තියක් ලබාගත්තා. ඒ වතාවෙත් ආයුෂ්මත් ගෝධික තෙරුන් මෙහෙම හිතුවා. “දැන් මං හය වතාවක්ම මේ සමාපත්තියෙන් පිරිහුනා. දැන් මම මේ සමාපත්තිය පිරිහෙන්න කලින් දිවි නසාගන්න එක තමයි හොඳ.”
එතකොට පවිටු මාරයා ආයුෂ්මත් ගෝධික තෙරුන්ගේ හිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් පැවසුවා.
“මහා වීරයාණෙනි, මහා ප්‍රඥාවන්තයාණෙනි, ඉර්ධියෙන් හා පිරිවරින් බබලන මුනිඳුනි, දහම් ඇස් ඇති මුනිඳුනි, ඔබවහන්සේගේ සිරිපා වඳිමි.
මරණය මැඬලූ මහාවීරයාණෙනි, ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් මරණයට කැමති වෙයි. මරණය ප්‍රිය කරයි. මහ තෙද ඇති මුනිඳුනි. එය වළක්වනු මැනැව.
ජනයා අතර ප්‍රසිද්ධ වූ, භාග්‍යවතුන් වහන්ස, ශාසනේ ඇලුණු, තවමත් අරහත්වයට පත් නොවූ, දහමේ හික්මෙන ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් ඔය විදිහට මැරෙන්නෙ කොහොමද?”
ඉතින් ඒ වෙලාවෙ ආයුෂ්මත් ගෝධික තෙරුන් ආයුධයකින් දිවි නසාගත්තා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ ‘මේ ඉන්නෙ පවිටු මාරයා’ කියල දැනගෙන පවිටු මාරයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.
“බුද්ධිමත් උදවිය ඔය විදිහටත් කරනවා. ජීවත් වෙන්නට කැමති වෙන්නෙ නෑ. තණ්හාව මුළින්ම උදුරළා දාපු පින්වත් ගෝධික භික්ෂුව පිරිනිවන් පෑවා.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, යමු. ඉසිගිලි පර්වත බෑවුමේ කාලිසිලා ගල් තලාවට යමු. එතන තමයි ගෝධික, කුලපුත්‍රයා ආයුධයකින් දිවි නසාගත්තේ.” “එහෙමයි ස්වාමීනී” කියල ඒ භික්ෂු පිරිසත් භාග්‍යවතුන් වහන්සේ සමඟ ඉසිගිලි පර්වතයේ කාලසිලා ගල්තලාවට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම දැක්කා අයුෂ්මත් ගෝධික තෙරුන් ඇඳේ උඩුකුරු අතට වැටිලා, පෙරලුණු කඳ ඇතිව වැටිලා ඉන්නවා.
ඒ මොහොතේ දුම් සහිත දෙයක්, අඳුරු සහිත දෙයක්, නැගෙනහිර දිශාවට යනවා. බටහිර දිශාවට යනවා. උතුරු දිශාවට යනවා. දකුණු දිශාවට යනවා. ඒ වගේම අනුදිශාවලටත් යනවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, අන්න බලන්න දුම් සහිත දෙයක්, අඳුරු සහිත දෙයක් තියෙනවා. ඒක නැගෙනහිර දිශාවටත් යනවා. බටහිර දිශාවටත් යනවා. උතුරු දිශාවටත් යනවා. දකුණු දිශාවටත් යනවා. අනුදිශාවලටත් යනවා දැක්කද?”
“එහෙමයි, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඔය තමයි පවිටු මාරයා. ඔය හොය හොයා ඉන්නෙ ගෝධික කුලපුත්‍රයාගේ විඤ්ඤාණයයි. ගෝධික කුලපුත්‍රයාගේ විඤ්ඤාණය කොහේද පිහිටියේ කියල හොයනවා. පින්වත් මහණෙනි, ගෝධික කුලපුත්‍රයා නොපිහිටි විඤ්ඤාණයෙන් පිරිනිවන් පෑවා.”
එතකොට පවිටු මාරයා බේළුවපණ්ඩු කියන වීණාවත් අරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“මම උඩ, යට, හරස් අතට, දිශා අනුදිශාවල හොයනවා. ඒ ගෝධික තෙරුන් ගියේ කොහේද කියලා. නමුත් ගිය තැනක් හොයාගන්න බෑ.”
(භාග්‍යවතුන් වහන්සේ):
“ඔහු ප්‍රඥාවන්ත කෙනෙක්. වීරියවන්ත කෙනෙක්. ධ්‍යාන වඩන, නිතරම ධ්‍යානයේ ඇලුණු කෙනෙක්. ජීවිතේ නොතකා, දවල් රාත්‍රී දෙකේම ධර්මයේ හැසිරුනා.
මාර සෙනඟ සිඳගෙන, පුනර්භවයට එන්නෙ නැතුව, මේ තණ්හාව මුළුමනින්ම උදුරලා, ඒ ගෝධික භික්ෂුව පිරිනිවන් පෑවා.”
(ධර්ම සංගායනා කළ රහතන් වහන්සේලා) :
“ශෝකයට පත්වුනු මාරයාගේ කිහිල්ලෙන් වීණාව ගිලිහිලා ගියා. දුකට පත්වුනු ඒ මාරයා එතනම නොපෙනී ගියා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M