සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.3.2. සමිද්ධි සුත්තං

4.3.2. සමිද්ධි තෙරුන්ට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සක්‌කේසු විහරති සිලාවතියං. තේන ඛෝ පන සමයේන ආයස්‌මා සමිද්‌ධි භගවතෝ අවිදූරේ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරති.

ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ සිලාවතී කියන ගමේ. ඒ දවස්වල ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේට නුදුරින්, කෙලෙස් තවන වීරියෙන්, දහමට දිවි පුදා අප්‍රමාදීව වාසය කළා.

අථ ඛෝ ආයස්මතෝ සමිද්‌ධිස්‌ස රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. ලාභා වත මේ සුලද්‌ධං වත මේ. යස්‌ස මේ සත්‌ථා අරහං සම්‌මාසම්‌බුද්‌ධෝ. ලාභා වත මේ සුලද්‌ධං වත මේ. යෝ’හං ඒවං ස්‌වාක්‌ඛාතේ ධම්මවිනයේ පබ්‌බජිතෝ. ලාභා වත මේ සුලද්‌ධං වත මේ. යස්‌ස මේ සබ්‍රහ්‌මචාරයෝ සීලවන්‌තෝ කල්‍යාණධම්‌මාති.

එදා ආයුෂ්මත් සමිද්ධි තෙරුන් හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට මෙවැනි අදහසක් හිතේ ඇතිවුනා. “අනේ මට කොයිතරම් ලාභයක්ද! අනේ මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මාගේ ශාස්තෘන් වහන්සේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනෙ. අනේ මට කොයිතරම් ලාභයක්ද! මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මේ වගේ ඉතා යහපත් ලෙස දේශනා කොට වදාළ ධර්ම විනය තියෙන ශාසනයක මහණ වෙන්න ලැබුනා නෙව. අනේ මට කොයිතරම් ලාභයක්ද! මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මම ඇසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කල්‍යාණ දහමෙන් යුතු සිල්වතුන් වහන්සේලානෙ.”

අථ ඛෝ මාරෝ පාපිමා ආයස්මතෝ සමිද්‌ධිස්‌ස චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය යේනායස්‌මා සමිද්‌ධි තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්මතෝ සමිද්‌ධිස්‌ස අවිදූරේ මහන්‌තං භයභේරව සද්‌දං අකාසි, අපිස්‌සුදං පඨවි මඤ්‌ඤේ උද්‍රීයතීති.

ඒ මොහොතේදී පවිටු මාරයා, ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ හිතේ ඇතිවුන ඒ කල්පනාව දැනගත්තා. සමිද්ධි තෙරුන් ළඟට පැමිණියා. පැමිණිලා සමිද්ධි තෙරුන්ට නුදුරින් මහා භයානක සද්දයක් කළා. ඒක හරියට මහ පොළොව පෙරලීගෙන යනවා වගේ.

අථ ඛෝ ආයස්‌මා සමිද්‌ධි යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සමිද්‌ධි භගවන්‌තං ඒතදවෝච. ඉධාහං භන්තේ භගවතෝ අවිදූරේ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරාමි. තස්‌ස මය්‌හං භන්තේ රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. ලාභා වත මේ සුලද්‌ධං වත මේ, යස්‌ස මේ සත්‌ථා අරහං සම්‌මාසම්‌බුද්‌ධෝ. ලාභා වත මේ සුලද්‌ධං වත මේ, යෝ’හං ඒවං ස්‌වාක්‌ඛාතේ ධම්මවිනයේ පබ්‌බජිතෝ. ලාභා වත මේ සුලද්‌ධං වත මේ, යස්‌ස මේ සබ්‍රහ්‌මචාරයෝ සීලවන්‌තෝ කල්‍යාණධම්‌මාති. තස්‌ස මය්‌හං භන්තේ අවිදූරේ මහාභයභේරවසද්‌දෝ අහෝසි, අපිස්‌සුදං පඨවි මඤ්‌ඤේ උ‌ද්‍රීයතීති.

එතකොට ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මං හුදෙකලාවේ භාවනාවේ ඉන්න කොට මගේ හිතේ මේ විදිහේ කල්පනාවක් ඇතිවුනා. ‘අනේ මට කොයිතරම් ලාභයක්ද! අනේ මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මාගේ ශාස්තෘන් වහන්සේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනෙ. අනේ මට කොයිතරම් ලාභයක් ද! මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මේ වගේ ඉතා යහපත් ලෙස දේශනා කොට වදාළ ධර්ම විනය තියෙන ශාසනයක මහණ වෙන්න ලැබුනා නෙව. අනේ මට කොයිතරම් ලාභයක්ද! මට කොයිතරම් හොඳ ලැබීමක්ද! මම ඇසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කල්‍යාණ දහමෙන් යුතු සිල්වතුන් වහන්සේලානෙ’ කියලා. එතකොට ස්වාමීනී, මට නුදුරින් මහා භයානක සද්දයක් ඇහුනා. ඒක හරියට පොළොව පෙරලීගෙන යනවා වගේ.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

නේසා සමිද්‌ධි පඨවි උද්‍රීයති. මාරෝ ඒසෝ පාපිමා. තුය්‌හං විචක්‌ඛුකම්‌මාය ආගතෝ. ගච්‌ඡ ත්‌වං සමිද්‌ධි තත්ථේව අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරාහීති.

“නෑ පින්වත් සමිද්ධි. ඒ පොළොව පෙරලෙනවා නොවෙයි. ඒ තමයි පවිටු මාරයා. ඔබේ නුවණැස වසා දමන්නයි ඔය ආවේ. පින්වත් සමිද්ධි, ඔබ එතනටම යන්න. කෙලෙස් තවන වීරියෙන් දහමට දිවි පුදා අප්‍රමාදීව එහිම වාසය කරන්න.”

ඒවම්භන්තේති ඛෝ ආයස්‌මා සමිද්‌ධි භගවතෝ පටිස්‌සුත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා පක්‌කාමි. දුතියම්‌පි ඛෝ ආයස්‌මා සමිද්‌ධි තත්ථේව අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහාසි. දුතියම්‌පි ඛෝ ආයස්මතෝ සමිද්‌ධිස්‌ස රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. ලාභා වත මේ, සුලද්‌ධං වත මේ ….(පෙ)…. යස්‌ස මේ සබ්‍රහ්‌මචාරයෝ සීලවන්‌තෝ කල්‍යාණධම්‌මාති. දුතියම්‌පි ඛෝ මාරෝ පාපිමා ආයස්මතෝ සමිද්‌ධිස්‌ස චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය ….(පෙ)…. අපිස්‌සුදං පඨවි මඤ්‌ඤේ උ‌ද්‍රීයතී’ති.

“එහෙමයි ස්වාමීනී” කියල ආයුෂ්මත් සමිද්ධි තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ආසනයෙන් නැගිටලා වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. පිටත් වුනා. ආයෙමත් ආයුෂ්මත් සමිද්ධි තෙරුන් එතනටම වැඩියා. කෙලෙස් තවන වීරියෙන් දහමට දිවි පුදා අප්‍රමාදීව වාසය කළා. ඉතින් ආයුෂ්මත් සමිද්ධි තෙරුන් හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට, ආයෙමත් මේ විදිහේ කල්පනාවක් ඇතිවුනා. “අනේ! මට කොයිතරම් ලාභයක්ද? මට කොයිතරම් ලැබීමක්ද? …. (පෙ) …. මම ඇසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් කල්‍යාණ ධර්ම තියෙන සිල්වතුන් වහන්සේලානෙ. ආයෙමත් පවිටු මාරයත් ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ හිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගත්තා …. (පෙ) …. ඒක හරියට පොළොව පෙරලීගෙන යනවා වගෙයි.

අථ ඛෝ ආයස්‌මා සමිද්‌ධි මාරෝ අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට ආයුෂ්මත් සමිද්ධි තෙරුන් ‘මේ තමයි පවිටු මාරයා’ කියලා හඳුනාගෙන, ගාථාවකින් මෙහෙම කිව්වා.

සද්‌ධායාහං පබ්බජිතෝ අගාරස්‌මා අනගාරියං
සති පඤ්‌ඤා ච මේ බුද්‌ධා චිත්‌තඤ්‌ච සුසමාහිතං
කාමං කරස්‌සු රූපානි නේව මං බ්‍යාධයිස්‌සසීති.

“මං ගිහි ජීවිතේ අත්හැරලා බුද්ධ ශාසනේ මහණ වුනේ ශ්‍රද්ධාවෙන්මයි. මම සිහියත්, ප්‍රඥාවත්, අවබෝධ කරලයි ඉන්නෙ. මගේ හිතත් හොඳට සමාධිමත් වෙලයි තියෙන්නෙ. ඔය විකාර දේවල් ඕන තරමක් කරන්න. මට පීඩාවක් කරන්ට හම්බවෙන්නෙ නෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ජානාති මං සමිද්‌ධි භික්‌ඛූති දුක්‌ඛී දුම්‌මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයත්, සමිද්ධි භික්ෂුව මාව දැනගත්තා කියල දුක් වුනා. නොසතුටු වුනා. නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M