ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ සිලාවතී කියන ගමේ. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සතර සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන, කෙලෙස් නැති කරන වීරියෙන් යුතුව, නිවන් අවබෝධ කිරීම පිණිසම යොමු කරගත් සිතින්, අප්‍රමාදීව ගත කරමින් හිටියා.
එදා පවිටු මාරයා බ්‍රාහ්මණයෙකුගේ වේශයක් මවාගත්තා. හිසේ ලොකු ජටා මඬුළු දරාගෙන තිබුණා. අඳුන් දිවි සමක් පොරවාගෙන හිටියා. ගොඩක් වයසයි. කුදු ගැහිලා හිටියා. ‘ගුරු ගුරු’ හඬින් හති දම දමා හිටියා. දිඹුල් හැරමිටියකුත් අරගෙන, ඒ භික්ෂූන් වහන්සේලා ළඟට ආවා. ඇවිදින් ඒ භික්ෂූන්ට මෙහෙම කිව්වා. “අනේ! මේ පින්වත් දරු පැටව් නෙව පැවිදි වෙලා ඉන්නෙ. ඔය තාම අපූරුවට කළු කෙහෙ තියෙන්නෙ. සුන්දර යෞවන කාලෙ නෙව. ජීවිතේ ප්‍රථම වයස නෙව. කම් සැපේ යෙදිලා නැහැ නෙව. අනේ භවත්නි, එහෙම නොවෙයි. මනුස්ස ලෝකෙ විඳින්න තියෙන කම් සැප විඳලා ඉන්න. මේ ජීවිතේදී විඳින්න තියෙන සැප අත්හැරලා, කාලයකට විතරක් ලැබෙන දෙයක් පස්සේ දුවන්න එපා!”
“නෑ. පින්වත් බ්‍රාහ්මණය, අපි මේ ජීවිතේදී අත්විඳින්න තියෙන කම් සැප අත්හැරලා, කාලෙකට පස්සෙ ලැබෙන දෙයක් සොයාගෙන දුවනවා නොවෙයි. පින්වත් බ්‍රාහ්මණය, අපි අත්හැරියේ කාලෙකට පස්සෙ ලැබෙන දේවල් තමයි. අපි දැන් මේ දුවන්නෙ මේ ජීවිතේදී ලබාගන්න සැපයකටයි. පින්වත් බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔය කාමයන් තාවකාලිකයි කියලා. ගොඩාක් දුක් තියෙනවා. ගොඩාක් කරදර තියෙනවා. ඔය කාමයේ ආදීනව ගොඩාක් තියෙනවා කියලයි. නමුත් මේ ධර්මය මේ ජීවිතේදීම අත්විඳින්න පුළුවන් දෙයක්. අකාලිකයි. ඇවිත් විමසා බලන්න කියලා කියන්න පුළුවනි. තමා තුළින් දකින්නත් පුළුවනි. නුවණැත්තන්ට තම තමන්ගේ නුවණේ හැටියට අවබෝධ කරන්නත් පුළුවනි.”
එතකොට පවිටු මාරයා, ඔළුව සෙලෙව්වා. දිව දික්කරල පැද්දෙව්වා. නළලේ තුන් පොටක් රැළි නැගුවා. ඇහි බැම හැකිලුවා. හැරමිටියෙ එල්ලීගෙන ආපහු යන්න ගියා.
ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, අපි මෙතන භාග්‍යවතුන් වහන්සේට නුදුරින්, සතර සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා අප්‍රමාදීව හිටියේ. එතකොට ස්වාමීනී, එක්තරා බ්‍රාහ්මණයෙක් අපි ළඟට ආවා. ඔහු හිසේ ලොකු ජටා මඬුළු දරාගෙන තිබුනා. අඳුන් දිවි සමක් පොරවාගෙන හිටියා. ගොඩක් වයසයි. කුදු ගැහිලා හිටියා. ‘ගුරු ගුරු’ හඬින් හති දම දමා හිටියා. දිඹුල් හැරමිටියකුත් අරගෙන අපි ළඟට ආවා. ඇවිදින් අපට මෙහෙම කිව්වා.
‘අනේ! මේ පින්වත් දරු පැටව් නෙව පැවිදි වෙලා ඉන්නෙ. ඔය තාම අපූරුවට කළු කෙහෙ තියෙන්නෙ. සුන්දර යෞවන කාලෙ නෙව. ජීවිතේ ප්‍රථම වයස නෙව. කම් සැපේ යෙදිලා නැහැ නෙව. අනේ භවත්නි, එහෙම නොවෙයි. මනුස්ස ලෝකෙ විඳින්න තියෙන කම් සැප විඳලා ඉන්න. මේ ජීවිතේදී විඳින්න තියෙන සැප අත්හැරලා, කාලයකට විතරක් ලැබෙන දෙයක් පස්සේ දුවන්න එපා!’ කියලා.
එතකොට ස්වාමීනී, අපි ඒ බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. ‘නෑ. පින්වත් බ්‍රාහ්මණය, අපි මේ ජීවිතේදී අත්විඳින්න තියෙන කම් සැප අත්හරලා, කාලෙකට පස්සෙ ලැබෙන දෙයක් සොයාගෙන දුවනවා නොවෙයි. පින්වත් බ්‍රාහ්මණය, අපි අත්හැරියේ කාලෙකට පස්සෙ ලැබෙන දේවල් තමයි. අපි දැන් මේ දුවන්නෙ මේ ජීවිතේදී ලබාගන්න සැපයකටයි. පින්වත් බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔය කාමයන් තාවකාලිකයි කියලා. ගොඩාක් දුක් තියෙනවා. ගොඩාක් කරදර තියෙනවා. ඔය කාමයේ ආදීනව ගොඩාක් තියෙනවා කියලයි. නමුත් මේ ධර්මය මේ ජීවිතේදීම අත්විඳින්න පුළුවන් දෙයක්. අකාලිකයි. ඇවිත් විමසා බලන්න කියලා කියන්න පුළුවනි. තමා තුළින් දකින්නත් පුළුවනි. නුවණැත්තන්ට තම තමන්ගේ නුවණේ හැටියට අවබෝධ කරන්නත් පුළුවනි’ කියලා.
එතකොට ස්වාමීනී, ඒ බ්‍රාහ්මණයා ඔළුව සෙලෙව්වා. දිව දික්කරල පැද්දෙව්වා. නළලේ තුන් පොටක් රැළි නැගුවා. ඇහි බැම හැකිලුවා. හැරමිටියෙ එල්ලීගෙන ආපහු යන්න ගියා.”
“පින්වත් මහණෙනි, ඔය පුද්ගලයා බ්‍රාහ්මණයෙක් නොවෙයි. ඔය තමයි පවිටු මාරයා. ඔබේ නුවණැස වනසන්නයි ආවෙ.”
ඒ මොහොතේ දී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැනගෙන, ඒ වෙලාවේ මේ ගාථාව වදාළා.
“යම් කෙනෙක් මේ පංචකාමයන් මුල් කරගෙන දුක හටගන්න බව දැක්කොත්, ඒ කෙනා පංචකාමයන්ට හිත යොමු කරන්නෙ කොහොමද? මේ ලෝකෙ පංචකාමය කියන්නේ කෙලෙස්වලට බව දන්න කෙනා ඒකෙ ආශාව දුරුකරන්නමයි පුරුදු වෙන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M