ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයේ හිමාල ප්‍රදේශයේ, වනගත කුටියක වැඩසිටියේ. එදා භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවෙ භාවනාවෙන් වැඩසිටින කොට, මේ වගේ සිතුවිල්ලක් සිතේ ඇතිවුනා. ‘ඇත්තෙන්ම, මරන්නෙ නැතුව, ශෝක කරන්නෙ නැතුව, පරදවන්නෙ නැතුව, පරද්දවන්නෙ නැතුව, ධාර්මිකව ආණ්ඩුවක් කරන්න පුළුවන් නේද?’
ඒ වෙලාවේදීම පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච කල්පනාව දැනගත්තා. දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආණ්ඩුව කරන සේක්වා! සුගතයන් වහන්ස, ආණ්ඩුව කරන සේක්වා! මරන්නෙ නැතුව, මරවන්නෙ නැතුව, පරද්දන්නෙ නැතුව, පරද්දවන්නෙ නැතුව, ශෝක කරන්නෙ නැතුව, ශෝක කරවන්නෙ නැතුව, ධාර්මිකව රජකම් කරන්න පුළුවන් නෙව.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මාරය, ඔබ මොකක්ද දැක්කෙ? මොකක් දැනගෙනද, මට ඔය විදිහට කියන්නෙ? ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආණ්ඩුව කරන සේක්වා! සුගතයන් වහන්ස, ආණ්ඩුව කරන සේක්වා! නොමරමින්, නොමරවමින්, නොපරදවමින්, නොපරද්දවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, ධාර්මිකව රජකම් කරන්න’ කියලා?”
(මාරයා) :
“ස්වාමීනි, ඉතින් භාග්‍යවතුන් වහන්සේ විසින් සතර ඉර්ධිපාද වඩල තියෙනවා නෙව. බහුල වශයෙන්, යානයක් වගේ, නැවතී සිටින තැනක් වගේ, තමන් තුළ පිහිටුවාගෙන ඉන්නවා නෙව. හොඳ හැටියට පුහුණු කරලා තියෙනවා නෙව. භාවනාවෙන් සම්පූර්ණ කරල තියෙනවා නෙව. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කැමති නම්, මේ හිමාල පර්වතරාජයා පවා රත්තරන් වෙන්න කියල හිතුවොත්, මේ පර්වතය රන් පර්වතයක් වේවි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“රනින්, රිදියෙන් කරපු තනි පර්වතයක් තියෙනවා නම්, ඒ පර්වතය වගේ දෙගුණයක් විශාල පර්වතයක් වුනත් තනි පුද්ගලයකුගේ හිතට සෑහෙන්නෙ නෑ.
යම් කෙනෙක් මේ කාමයන් හේතු කරගෙන, දුක හටගන්න බව අවබෝධ කළා නම්, ඒ කෙනා ආයෙත් පංච කාම සුවයට නැමෙන්නෙ කොහොමද? ලෝකයේ කාම සුවයට නැමෙන්නෙ කොහොමද? ලෝකයේ තියෙන මේ පංච කාම සැප කෙලෙස් බව අවබෝධ කරගත්ත කෙනා, ඒවා දුරුකිරීම පිණිසමයි හික්මෙන්නෙ.”
එතකොට පවිටු මාරයා, ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගගයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි රජ්ජ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M