සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.7. ආයතන සුත්තං

4.2.7. ආයතන ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන භගවා ඡන්‌නං ඵස්‌සායතනානං උපාදාය භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨිකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර සමීපයේ මහාවනයේ කූටාගාර ශාලාවේ. එදා භාග්‍යවතුන් වහන්සේ මේ ස්පර්ශ ආයතන හය ගැන භික්‍ෂුන්ට ධර්ම කථාවක් කරමින් හිටියා. නිදර්ශන දක්වමින්, කරුණු සමාදන් කරවමින් හිටියේ. ඒ භික්‍ෂුන් වහන්සේලාත් අවබෝධ කරගන්න ඕන. කියන අදහසින්ම, මුළු හිතම යොමු කරගෙන, සවන් යුග යොමු කරගෙන දහම් අසමින් හිටියා.

අථ ඛෝ මාරස්‌ස පාපිමතෝ ඒතදහෝසි. අයං ඛෝ සමණෝ ගෝතමෝ ඡන්‌නං ඵස්‌සායතනානං උපාදාය භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨිකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති. යන්නූනාහං යේන සමණෝ ගෝතමෝ තේනුපසං‌කමෙය්‍යං විචක්‌ඛුකම්‌මායාති. අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතෝ අවිදූරේ මහන්‌තං භයභේරවසද්‌දං අකාසි. අපිස්‌සුදං පඨවි මඤ්‌ඤේ උද්‍රීයති. අථ ඛෝ අඤ්‌ඤතරෝ භික්‌ඛු අඤ්‌ඤතරං භික්‌ඛුං ඒතදවෝච. භික්‌ඛු භික්‌ඛු ඒසා පඨවි මඤ්‌ඤේ උද්‍රීයතීති.

එතකොට පවිටු මාරයාට මේ අදහස ඇතිවුනා. ‘මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ නිදර්ශන ඇතිව, කරුණු සමාදන් කරවමින්, උත්සාහවත් කරවමින්, හිතට ඇතුළු කරවමින් ස්පර්ශ ආයතන හය ගැන කියා දෙනවා නෙව. ඒ භික්‍ෂුනුත් ‘අවබෝධ කරගන්න ඕන’ කියන අදහසින්ම, මුළු හිතම යොමු කරගෙන, සවන් යුග යොමු කරගෙන, දහම් අසමින් ඉන්නවා. මං යන්න ඕන ශ්‍රමණ ගෞතමයන් ළඟට. මේ භික්‍ෂූන්ගේ නුවණැස වනසල දාන්න ඕන කියලා.

ඉතින් පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින්, භාග්‍යවතුන් වහන්සේට නුදුරින් මහා භයානක ශබ්දයක් කළා. ඒක නිකන් මහ පොළොව පෙරලීගෙන යනවා වගෙයි.

එතකොට එක්තරා භික්‍ෂුවක් තවත් භික්‍ෂුවකට මෙහෙම කිව්වා. “භික්‍ෂුව, භික්‍ෂුව, මෙන්න! මහ පොළොව පෙරලීගෙන එනවා වගේ.”

ඒවං වුත්තේ භගවා තං භික්‌ඛුං ඒතදවෝච. නේසා භික්‌ඛු පඨවි උද්‍රීයති. මාරෝ ඒසෝ පාපිමා තුම්‌හාකං විචක්‌ඛුකම්‌මාය ආගතෝති. අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි අජ්‌ඣභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට මෙහෙම වදාළා. “නෑ, පින්වත් භික්‍ෂුව, ඔය මහ පොළව පෙරලෙනවා නෙවෙයි. ඔය පවිටු මාරයායි. ඔබේ නුවණැස වනසන්නයි ඇවිල්ල තියෙන්නෙ.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ, ‘මේ ඉන්නෙ පවිටු මාරයා’ කියල හඳුනාගෙන, පවිටු මාරයාට මේ ගාථාවන් වදාළා.

රූපා සද්‌දා රසා ගන්‌ධා ඵස්‌සා ධම්‌මා ච කේවලා
ඒතං ලෝකාමිසං ඝෝරං එත්‌ථ ලෝකෝ’ධිමුච්‌ඡිතෝ

“රූප, ශබ්ද, රස, පහස, අරමුණු, කියන මේවා ඔක්කොම, මේ ලෝකෙ තියෙන දරුණු ආමිසයන්. මුළු ලෝකයාම ඒවාට සම්පූර්ණයෙන්ම අහුවෙලයි ඉන්නෙ.

ඒතඤ්‌ච සමතික්‌කම්‌ම සතෝ බුද්‌ධස්‌ස සාවකෝ
මාරධෙය්‍යමතික්‌කම්‌ම ආදිච්‌චෝව විරෝචතීති.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හොඳ සිහියෙන් ඉඳගෙන, මේ මාර විජිතය ඉක්මවා යනවා. හිරු මඬලක් වගේ බබලනවා.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා …. (පෙ) …. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M