සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.5. මානස සුත්තං

4.2.5. මනස ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එතකොට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිල්ල භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

අන්‌තලික්‌ඛචරෝ පාසෝ යෝයං චරති මානසෝ
තේන තං බාධයිස්‌සාමි න මේ සමණ මොක්‌ඛසීති.

“මනසින් නිකුත් වෙලා, අහසේ හැසිරෙන තොණ්ඩුවක් තියෙනවා. අන්න ඒ තොණ්ඩුවෙන් මං තමුන්නාන්සේව බැඳල දානවා. ශ්‍රමණය, ඔබට මගෙන් නම් ගැලවීමක් නෑ.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

රූපා සද්‌දා රසා ගන්‌ධා ඵොට්‌ඨබ්‌බා ච මනෝරමා
එත්‌ථ මේ විගතෝ ඡන්‌දෝ නිහතෝ ත්‌වමසි අන්‌තකාති.

“සිත් ඇදබැඳගන්න, මේ රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස කියන කම් සැපයෙහි ඇති ආශාව නැති වෙලා ගියා. ඒයි මාරය, මේ කරුණෙදී ඔබ පැරදුනා.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පාපී මාරයා …. (පෙ) …. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

විශේෂ කරුණක් :-

මේ මානස සූත්‍රයේ මාරයා ගාථාව පැවසුවේ බුදු සමිඳුන්ව නොමඟ යැවීම පිණිසයි. ආධ්‍යාත්මික බාහිර ලෝකය මුළුමනින්ම නොමඟ යැවීමට මේ ගාථාව සෑහේ. අහසේ හැසිරෙන්නේ කුමක්දැයි සොයන්නට ඔහු පටන්ගනු නිසැකය. ඒවා මනසින් නිකුත් වන්නේ කෙසේදැයි, සොයන්නට ගොස් ඔහු මුළාවෙන් මුළාවට පත්වනු නිසැකය. නමුත් සතිපට්ඨානය තුළ මනාව සිත පිහිටුවාගෙන සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ මාරයාට දුන් පිළිතුරත් සමගම ඒ ගැටලුව සදහටම විසඳී යයි. මාරයා අදහස් කළ දේ පිළිබඳ නියම අර්ථය කුමක්දැයි වැටහෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ පිළිතුර නුවණින් විමසා බලන විටදීය. අහසේ හැසිරෙන දේ ගැන මාරයා පැවසූ කරුණ ගැන ඔබ පවා විමසන්න ගියොත් ඔබත් හසුවන්නේ මාරයා ගේ උගුලටය. එම නිසා, අපට වැදගත් වන්නේ මාරයාගේ උගුල නොව, බුදු සමිඳුන් වදාළ පිළිතුර ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M