සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.3. සකලික සුත්තං

4.2.3. ගල් පතුර මුල් කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති මද්‌දකුච්‌ඡිස්‌මිං මිගදායේ. තේන ඛෝ පන සමයේන භගවතෝ පාදෝ සකලිකාය ඛතෝ හෝති. භුසා සුදං භගවතෝ වේදනා වත්‌තන්‌ති සාරීරිකා දුක්‌ඛා තිබ්‌බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතෝ සම්‌පජානෝ අධිවාසේති අවිහඤ්‌ඤමානෝ. අථ ඛෝ භගවා චතුග්‌ගුණං සංඝාටිං පඤ්‌ඤපෙත්‌වා දක්‌ඛිණේන පස්‌සේන සීහසෙය්‍යං කප්‌පේසි පාදේ පාදං අච්‌චාධාය සතෝ සම්‌පජානෝ. අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර මද්දකුච්ඡි නම් මිගදායේ වැඩසිටියේ.

ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුලකට ගල් පතුරකින් පහරක් වැදිල තිබුනා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ශාරීරික වේදනා දැනුනා. ගොඩාක් දුක් ඇතිවුනා. තියුණු, කර්කශ, අමිහිරි, අමනාප වේදනා ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ හොඳ සිහි කල්පනාවෙන්, හොඳ නුවණින් යුතුව, ඒ පීඩා විඳින්නෙ නැතුව, ඒ වේදනාවන් ඉවසා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා ආසනයක් පණවගෙන, දකුණු ඇලයෙන් හාන්සි වුනා. වම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල මදක් මෑත් කොට තබාගෙන සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් වැඩසිටියා.

එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.

මන්‌දියා නු ඛෝ සේසි උදාහු කාවෙය්‍යමත්‌තෝ
අත්‌ථා නු තේ සම්‌පචුරා න සන්‌ති
ඒකෝ විවිත්‌තේ සයනාසනම්‌හි
නිද්‌දාමුඛෝ කිමිදං සොප්‌පසේ වාති.

“මොකද නිදාගෙන ඉන්නෙ. මුළා වුනාද? එහෙම නැත්නම් කවි ගැන හිත හිත ඉන්නවා ද? ඇයි දැන් වැඩ නවත්තලාද? මේ හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, නිදිබර මුහුණු ඇතිව නිදාගන්නෙ මොකද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

න මන්‌දියා සයාමි නාපි කාවෙය්‍යමත්‌තෝ
අත්‌ථං සමෙච්‌චාහමපේතසෝකෝ
ඒකෝ විවිත්‌තේ සයනාසනම්‌හි
සයාමහං සබ්‌බභූතානුකම්‌පී.

“මුළාවෙලා නිදනවත් නෙවෙයි. කවි ගැන හිත හිත ඉන්න නිදනවත් නෙවෙයි. මං ලෝකෙට යහපතක් කරනවා තමයි. නමුත් මං ශෝක රහිතව ඉන්න කෙනෙක්. මං හුදෙකලාවෙ තනියම කුටියකට වෙලා, මේ සැතපිලා ඉන්නෙත් සියලු සතුන් ගැන අනුකම්පාවෙන්මයි.

යේසම්‌පි සල්‌ලං උරසී පවිට්‌ඨං
මුහුං මුහුං හදයං වේධමානං
තේපීධ සොප්‌පං ලභරේ සසල්‌ලා
තස්‌මා අහං න සුපේ වීතසල්‌ලෝ

යමෙකුගේ හිත ඇතුළට රාගාදී හුල් ඇනිල තියෙන කොට, ඔවුන්ගේ හදවත මොහොතක්, මොහොතක් පාසා කම්පා වෙනවා. ඉතින්, රාගාදී හුල් සහිතව ඒ උදවිය පවා නිදාගන්නවා නම්, ඒ හුල් කිසිවක් නැති, මං මොකටද නිදා නොගෙන ඉන්නෙ?

ජග්‌ගං න සං‌කේ නපි භේමි සොත්‌තුං
රත්‌තින්‌දිවා නානුතපන්‌ති මා මං
හානිං න පස්‌සාමි කුහිඤ්‌චි ලෝකේ
තස්‌මා සුපේ සබ්‌බභූතානුකම්‌පීති.

සැකෙන් ඇහැරගෙන ඉන්නවත් නෙවෙයි. නිදාගන්න භයකුත් නෑ. රෑ දවල් දෙකේම මං තුළ තැවෙන කිසිදෙයක් නෑ. මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් පිරිහීමක් පේන්නෙ නෑ. ඒ නිසා, සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්මයි මං මේ සැතපෙන්නෙ.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සෙ මාව දැනගත්තා නෙව. …. (පෙ) …. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M