සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.1. පාසාණ සුත්තං

4.2.1. ගල් ගෙඩි පෙරලීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්‌ඣකූටේ පබ්‌බතේ. තේන ඛෝ පන සමයේන භගවා රත්‌තන්‌ධකාරතිමිසායං අජ්ඣෝකාසේ නිසින්නෝ හෝති. දේවෝ ච ඒකමේකං ඵුසායති. අථ ඛෝ මාරෝ පාපිමා භගවතෝ භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතෝ අවිදූරේ මහන්‌තේ මහන්‌තේ පාසාණේ පදෝලේසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු පර්වතයේ. එදා භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී අන්ධකාරයේ, එළිමහනේ වාඩිවෙලා හිටියේ. වැහි පොදත් එක දෙක වැටෙනවා.

එතකොට පවිටු මාරයාට මෙවැනි කැමැත්තක් ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙළින් කරවන්න ඕන’ කියලා. ඉතින් මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ළඟට ගිහින් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් විශාල විශාල ගල් පෙරලන්න පටන් ගත්තා.

අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ‘මේ ඉන්නෙ මාරයා’ කියල අඳුරගත්තා. පවිටු මාරයාට මේ ගාථාව වදාළා.

සචේමං කේවලං සබ්‌බං ගිජ්‌ඣකූටං චලෙය්‍යසි
නේව සම්‌මාවිමුත්‌තානං බුද්‌ධානං අත්‌ථි ඉඤ්‌ජිතන්‌ති.

“ඉතින් පුළුවන් නම් මේ මුළු ගිජුකුළු පර්වතේම සොළවනවා බලන්න. නමුත් බුදුවරයන්ගේ සිත ඉතා හොඳින් නිදහස් වෙලා තියෙන්නෙ. ඒ නිසා කම්පනයක් නම් ඇතිවෙන්නෙ නෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ජානාති මං සුගතෝ’ති දුක්ඛී දුම්මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පාපී මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල නොසතුටු වුනා. දුක් වුනා. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M