මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. එදා “පින්වත් මහණෙනි” යි කියල ඒ භික්‍ෂුසංඝයා ඇමතුවා. ඒ භික්‍ෂුසංඝයාද “පින්වතුන් වහන්ස” කියල පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මේ මනුෂ්‍යයින්ට තියෙන්නෙ ආයුෂ ස්වල්පයයි. පරලොව යන්න සිද්ධ වෙනවා. කුසල්දහම් කරන්න ඕන. නිවන් මගේ හැසිරෙන්න ඕන. උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නෑ. පින්වත් මහණෙනි, ඉතින් යම් කෙනෙක් සෑහෙන කාලයක් ජීවත් වුනොත්, ඔහු ජීවත් වෙන්නෙ අවුරුදු සීයක් හරි, ඊට චුට්ටක් හරි වැඩියෙන් තමයි.”
එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ලඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“නෑ, රෑ දවල් එහෙම ගෙවෙන්නෙ නෑ. ජීවිතේ නැතිවෙලා යන්නෙ නෑ. කරත්තෙක ඒරියා කඳ අනුව කැරකෙන නිම් වලල්ල වගේ මිනිසුන්ගේ ආයුෂයට අනුව තමයි ජීවිතේ තියෙන්නෙ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“රෑ දවල් දෙකම ගෙවිල යනවා. ජීවිතේ නිරුද්ධ වෙලා යනවා. චූටි අතු ගංගාවල දිය පාරක් වගේ මිනිස්සුන්ගේ ආයුෂ ක්‍ෂය වෙලා යනවා.”
එතකොට පවිටු මාරයා, ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුකට පත්වුනා. අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
පළමුවෙනි ආයු වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M