මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ. එදා “පින්වත් මහණෙනි” කියල ඒ භික්‍ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා.
“පින්වත් මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ඉතාම ස්වල්පයයි. පරලොව යන්න සිද්ධ වෙනවා. කුසල් දහම් කරන්න ඕන. නිවන් මගේ හැසිරෙන්න ඕන. උපන් කෙනෙකුට නොමැරී ඉන්න බෑ. පින්වත් මහණෙනි, කවුරු හරි ගොඩාක් කල් ජීවත් වෙනවා නම්, වැඩිම වුනොත් ඒ තැනැත්තා අවුරුදු සීයක් හරි, ඊට චුට්ටක් වැඩියෙන් හරි ජීවත් වේවි.”
ඒ මොහොතේ, පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.
“මනුස්සයින්ට දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ නිසා සත්පුරුෂයින් ඒ ආයුෂ හෙළා දකින්නෙ නෑ. මව් තනයේ එල්ලීගෙන කිරි බොන දරුවෙක් වගේ මේ මනුස්ස ජීවිතේ ගැන ආශා කරන්න ඕන. මරණය කියන එක ආපහු එන්නෙ නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මිනිසුන්ට තිබෙන්නේ ස්වල්ප ආයුෂයක්. සත්පුරුෂයා ඒ ආයුෂ හෙළා දකිනවා. ආර්ය සත්‍ය අවබෝධ කිරීමට කටයුතු කළ යුත්තේ හිස ගිනිගත්තු කෙනෙක් වගේ හැසිරිලයි. මරණය නම් නෑවිත් ඉන්නෙ නෑ.”
එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සෙ මාව දැනගත්තා නෙව’ කියල අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M