සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.5. දුතිය පාස සුත්තං

1.5. උගුල ගැන වදාළ දෙවෙනි දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි භික්ඛවෝති, භදන්තේති තේ භික්‌ඛූ භගවතෝ පච්‌චස්‌සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මිගදායේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂුසංඝයා ඇමතුවා. ඒ භික්‍ෂුන් වහන්සේලාද “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

මුත්‌තෝහං භික්ඛවේ සබ්‌බපාසේහි යේ දිබ්‌බා යේ ච මානුසා. තුම්‌හේපි භික්ඛවේ මුත්‌තා සබ්‌බපාසේහි යේ දිබ්‌බා යේ ච මානුසා. චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දේවමනුස්‌සානං. මා ඒකේන ද්‌වේ අගමිත්‌ථ. දේසේථ භික්ඛවේ ධම්‌මං ආදිකල්‍යාණං මජ්‌ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කේවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසේථ. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා අස්‌සවණතා ධම්‌මස්‌ස පරිහායන්‌ති. භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරෝ. අහම්‌පි භික්ඛවේ යේන උරුවේලා සේනානිනිගමෝ තේනුපසංකමිස්‌සාමි ධම්‌මදේසනායාති. අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

“පින්වත් මහණෙනි, යම් දිව්‍ය බන්ධනත් තියෙනවා. මිනිස් ලොවත් යම් බන්ධන තියෙනවා. මං ඒ සියලු උගුල්වලින් නිදහස් වුනා. පින්වත් මහණෙනි, ඔබත් දෙව්ලොව තියෙන, මිනිස් ලොව තියෙන සෑම උගුලකින්ම නිදහස් වුනා. පින්වත් මහණෙනි, බොහෝ ජනතාවට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාවෙන්, දෙවිමිනිසුන්ට යහපත පිණිස, හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. එක මගකින් දෙන්නෙක් වඩින්න එපා. පින්වත් මහණෙනි, ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූ ධර්මය දේශනා කරන්න. මුළුමනින්ම පරිපූර්ණ වූ, පිරිසිදු වූ, නිවන් මඟ කියා දෙන්න. කෙලෙස් අඩු උදවිය ඉන්නවා. ඒ අයට ධර්මය අසන්න නොලැබුනොත්, පිරිහිලා යාවි. ධර්මය අසන්න ලැබුනොත් අවබෝධ කරගනීවි. පින්වත් මහණෙනි, මාත් දහම් දෙසන්න උරුවෙල් ජනපදයේ සේනානි ගමට යනවා.”

එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිදින්, භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කිව්වා.

බද්‌ධෝසි සබ්‌බපාසේහි යේ දිබ්‌බා යේ ච මානුසා
මහාබන්‌ධනබද්‌ධෝසි න මේ සමණ මොක්‌ඛසීති.

“සෑම උගුලකටම අහු වුනා නේද? දෙව්ලොවත් උගුල් තියෙනවා. මනු ලොවත් උගුල් තියෙනවා. ඒ මහා බන්ධනයට බැඳිල ගියා නේද? ඒයි ශ්‍රමණය, ඔබට මගෙන් නම් නිදහස් වෙන්න බෑ.”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ) :

මුත්‌තෝහං සබ්‌බපාසේහි යේ දිබ්‌බා යේ ච මානුසා
මහාබන්‌ධනමුත්‌තොම්‌හි නිහතෝ ත්‌වමසි අන්‌තකාති.

“සෑම උගුලකින්ම මං නිදහස් වුනා. දෙව්ලොවත් බන්ධන තියෙනවා. මනුලොවත් බන්ධන තියෙනවා. ඒ මහා බන්ධනවලින් මං නිදහස් වුනා. ඒයි මාරය, මේ කාරණේදී නුඹ පැරදුනා.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ජානාති මං සුගතෝ’ති දුක්ඛී දුම්මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්ස මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M