සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.1.3. සුභ සුත්තං

4.1.3. පියකරු බව ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා උරුවේලායං විහරති ….(පෙ)…. පඨමාභිසම්‌බුද්‌ධෝ. තේන ඛෝ පන සමයේන භගවා රත්‌තන්‌ධකාරතිමිසායං අජ්ඣෝකාසේ නිසින්නෝ හෝති දේවෝ ච ඒකමේකං ඵුසායති. අථ ඛෝ මාරෝ පාපිමා භගවතෝ භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතෝ අවිදූරේ උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති සුභා චේව අසුභා ච. අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ …. (පෙ) …. ඒ සම්බුද්ධත්වයට පත්වුන මුල් කාලයයි.

එදා භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී ඝනාන්ධකාරෙ එළිමහනෙ වාඩිවෙලා හිටියා. වැහි පොදත් එක එක වැටෙනවා.

එතකොට පාපී මාරයාට මෙහෙම කැමැත්තක් ආවා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැතිගන්වන්න ඕන. ඇඟේ මවිල් කෙළින් කරවන්න ඕන’ කියලා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් නොයෙක් විදිහේ ලස්සන කැත රූප දක්වන්න පටන් ගත්තා.

ඒ මොහොතේම, භාග්‍යවතුන් වහන්සේ හඳුනගත්තා, ‘මේ තමයි පාපී මාරයා’ කියලා. භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයාට ගාථාවලින් මෙහෙම වදාළා.

සංසරං දීඝමද්‌ධානං වණ්‌ණං කත්‌වා සුභාසුභං
අලං තේ තේන පාපිම නිහතෝ ත්‌වමසි අන්‌තක.

“ඔව්. බොහෝ කාලයක් තිස්සෙ සසරෙ සැරිසරද්දී නොයෙක් ලස්සන කැත, වෙස් අරගෙන ඔබ මං ළඟට ආවා. ඒයි පවිටු තැනැත්ත, දැන් ඒවායින් පලක් නෑ. ඒයි මාරය, මේ කාරණයේදී ඔබ පැරදුනා.

යේ ච කායේන වාචාය මනසා ච සුසංවුතා
න තේ මාරවසානුගා න තේ මාරස්‌ස බද්‌ධගූ’ති

යමෙක් කයින්, වචනයෙන්, හිතෙන් සංවර වුනොත්, ඒයි මාරය, ඒ කවුරුවත් ඔබේ වසඟයට එන්නෙ නෑ. ඒ කවුරුවත් මාර බන්ධනයට අහුවෙන්නෙ නෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ජානාති මං සුගතෝ’ති දුක්ඛී දුම්මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පාපී මාරයා, ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සෙ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු සිත් ඇතිවුනා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M