මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගං ඉවුරේ, අජපාල නුග සෙවනේ. එදා භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අන්ධකාරේ එළිමහනෙ වාඩිවෙලා වැඩ සිටියා. ඒ වෙලාවෙ වැහි පොදත් එක එක වැටෙනවා.
එතකොට පවිටු මාරයාට මෙහෙම කැමත්තක් ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. ඇඟේ මවිල් කෙළින් හිටවන්න ඕන’ කියලා. ඉතින් ඔහු විශාල ඇත් රජෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ආවා. ඒ දළ දෙක පිරිසිදු රිදී පාටයි. ඒ ඇතාගේ හොඬවැල නගුල් දණ්ඩක් වගෙයි.
ඒ මොහොතේම ‘මේ තමයි පවිටු මාරයා’ කියල භාග්‍යවතුන් වහන්සේ අඳුරගත්තා. පවිටු මාරයාට ගාථාවකින් මෙහෙම කිව්වා.
“ඔව්. බොහෝ කාලයක් මුළුල්ලේ සසර සැරිසරද්දී නොයෙක් ලස්සන, කැත වෙස් අරගෙන ඔබ මං ළඟට ආවා තමයි. ඒයි පවිටු තැනැත්ත, දැන් ඒවායින් පලක් නෑ. ඒයි මාරය, මේ කාරණේදී ඔබ පැරදුනා.”
එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව, සුගතයන් වහන්සේ මාව දැනගත්ත නෙව’ කියල දුක් වුනා. අසතුටු සිත් ඇතිවුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M