130. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..
එදා පසේනදී කොසොල් රජතුමා මහ දවාලෙ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“පින්වත් මහාරාජ, මේ මහා දවාලෙ ඔබ කොහේ ඉඳන් එන ගමන්ද?”
“ස්වාමීනී, සැවැත් නුවර හිටපු ගෘහපති සිටුවරයෙක් කළුරිය කළා. ඔහුට දරුවන් නෑ. ඔහුගේ ධනය රජ ගෙට භාරදීලා එන ගමන්. ස්වාමීනී, ඒ වස්තුවේ රන් කාසි විතරක් අසූ ලක්ෂයක් තිබුනා. රිදී කාසි ගැන කවර කථාද? නමුත් ස්වාමීනී, ඔය ගෘහපති සිටුවරයාගේ බත් කෑම මෙන්න මේ වගේ එකක්. නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. ඔහුගේ ඇඳුම් ඇඳීම මේ වගේ එකක්. කෑලි තුනක් මූට්ටු කරපු, හණ වැහැරියක් තමයි ඇන්ඳේ. ඔහුගේ වාහනේ මේ වගේ එකක්. කබල් කුඩයක් ඔසවලා තිබුණු, දිරා ගිය පොඩි කරත්තයක්.”
“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, අසත්පුරුෂයා කොයිතරම් උතුම් සැප සම්පත් ලැබුවත්, තමාව සුවපත් කරගන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. මව්පියන්ව සුවපත් කරවන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. අඹුදරුවන්ව සුවපත් කරගන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. දැස් දස් කම්කරුවන්ව සුවපත් කරගන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. යාළු මිත්‍රයන්ව සුවපත් කරගන්නෙත් නෑ. පිනවන්නෙත් නෑ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පිදීමකුත් නෑ. සුගතියේ සැප විපාක ලබා දෙන ස්වර්ගයේ උපත ලබා දෙන එබඳු පින් කිරීමකුත් නෑ. ඉතින් ඔහුගේ සැප සම්පත් ඔය විදිහෙන්, හොඳ හැටියට පාවිච්චියක් නැති නිසා, එක්කො රජවරු අරගන්නවා. එක්කො හොරු පැහැරගන්නවා. එක්කො ගින්නට පිච්චෙනවා. එක්කො වතුරෙ ගහගෙන යනවා. එක්කො තමන් අකමැති උදවියට ඒවා දෑවැද්ද වෙනවා. පින්වත් මහාරාජ, ඔය විදිහට භෝග සම්පත්වල යහපත් පාවිච්චියක් නැතිවුනාම ඒවා විනාශ වෙලා යනවා. පාවිච්චියක් වෙන්නෙ නෑ.
පින්වත් මහාරාජ, ඒක හරියට අමනුෂ්‍යයන් අධිගෘහිත පොකුණක් වගෙයි. හොඳට වතුර තියෙනවා. සීතලයි. මිහිරියි. රැළි නගින ඉවුර තියෙනවා. ලස්සනයි. නමුත් ජනයා ඒ පොකුණ අත්හරිනවා. බොන්නෙත් නෑ. නාන්නෙත් නෑ. වෙන දේකට යොදවන්නෙත් නෑ. පින්වත් මහාරාජ, ඒ විදිහට ඒ වතුර හිඳිල යන්නෙ පාවිච්චියකට නොගෙනමයි. පරිභෝගයකට නොගෙනමයි.
පින්වත් මහාරාජ, ඔය විදිහමයි අසත්පුරුෂයාට කොයිතරම් සැප සම්පත් ලැබුණත්, තමාව සුවපත් කරන්නෙ නෑ. පිනවන්නෙ නෑ. …. (පෙ) …. තමන් අකමැති උදවිය දෑවැද්දට ගන්නවා. ඔය විදිහට ඒ සැප සම්පත් හොඳ හැටියට පාවිච්චියක් නැතිවුනාම පරිභෝග නොකරමයි නැතිවෙලා යන්නෙ.
නමුත් පින්වත් මහාරාජ, සත්පුරුෂයාට මහත් සැප සම්පත් ලැබුනාම, තමාවත් සුවපත් කරනවා, පිනවනවා. මව්පියන්වත් සුවපත් කරනවා. පිනවනවා. අඹුදරුවන්වත් සුවපත් කරනවා, පිනවනවා. දැසි දස්, කම්කරුවන්වත් සුවපත් කරනවා, පිනවනවා. සුගතියේ සැප විපාක ලබාදෙන, ස්වර්ගයේ උපත පිණිස පවතින විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් දන් පැන් පූජා කරගන්නවා. ඔහුගේ ඒ භෝග සම්පත් ඔය විදිහට හොඳින් පාවිච්චි වෙන කොට රජවරු ගන්නෙත් නෑ. හොරු ගන්නෙත් නෑ. ගින්නට පිච්චෙන්නෙත් නෑ. වතුරෙ ගහගෙන යන්නෙත් නෑ. පින්වත් මහාරාජ, ඔය විදිහට ඒ භෝග සම්පත් හොඳින් පාවිච්චි වෙන කොට ඒවා පරිභෝග කෙරෙනවා. නාස්ති වෙන්නෙ නෑ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. ගමක හෝ කුඩා නගරයක හෝ ළඟ පාතක පොකුණක් තියෙනවා. ඒ පොකුණෙ වතුර ටික හරි අගෙයි. සීතලයි. මිහිරියි. රැළි නැගෙන ඉවුරෙන් යුක්තයි. ලස්සනයි. මහජනයා ඒ පොකුණෙ වතුර අරගෙන යනවා. බොනවා. නානවා. කැමති දේකට යොදවනවා. ඔය විදිහට පින්වත් මහාරාජ, ඒ වතුර ටික හොඳින් පාවිච්චි කෙරෙන නිසා, හොඳින් පරිභෝග කෙරෙනවා. නාස්ති වෙන්නෙ නෑ.
පින්වත් මහාරාජ, ඔය විදිහමයි. වීරියවන්ත සත්පුරුෂයෙකුට මහත් සැප සම්පත් ලැබුනාම තමාවත් සුවපත් කරනවා, පිනවනවා. …. (පෙ) …. ඔය විදිහට ඒ භෝග සම්පත් හොඳින් පාවිච්චි වෙනවා. පරිභෝග කෙරෙනවා. නාස්ති වෙන්නෙ නෑ.
අමනුෂ්‍යයන් අධිගෘහිත තැනක සීතල ජලය තිබුණත්, ඒක පාවිච්චි නොවෙන නිසා හිඳිලා යනවා. ඒ විදිහමයි අසත්පුරුෂයාට ධනය ලැබුනට තමා අනුභව කරන්නෙත් නෑ. අනුන්ට දෙන්නෙත් නෑ.
වීරියවන්ත, නුවණැති සත්පුරුෂයාට සම්පත් ලැබුනාම, ඔහු අනුභව කරනවා. යුතුකම් ඉටුකරනවා. ඒ උතුම් මනුෂ්‍යයා නෑ පිරිසටත් සලකළා, නින්දා නොලබා ස්වර්ගයේ උපත ලබනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M