131. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..
එදා පසේනදී කොසොල් රජතුමා මහ දවාලෙ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“පින්වත් මහාරාජ, මේ මහා දවාලෙ ඔබ කොහේ ඉඳන් එන ගමන්ද?”
“ස්වාමීනී, සැවැත් නුවර හිටපු ගෘහපති සිටුවරයෙක් කළුරිය කළා. ඔහුට දරුවන් නෑ. ඔහුගේ ධනය රජ ගෙට භාරදීලා එන ගමන්. ස්වාමීනී, ඒ වස්තුවේ රන් කාසි විතරක් කෝටියක් තිබුනා. රිදී කාසි ගැන කවර කථාද? නමුත් ස්වාමීනී, ඔය ගෘහපති සිටුවරයාගේ බත් කෑම මෙන්න මේ වගේ එකක්. නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. ඔහුගේ ඇඳුම් ඇඳීම මේ වගේ එකක්. කෑලි තුනක් මූට්ටු කරපු, හණ වැහැරියක් තමයි ඇන්ඳේ. ඔහුගේ වාහනේ මේ වගේ එකක්. කබල් කුඩයක් ඔසවලා තිබුණු, දිරා ගිය පොඩි කරත්තයක්.”
“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඉස්සර සිදුවෙච්ච දෙයක් කියන්නම්. ඒ කාලෙ ඔය ගෘහපති සිටුවරයා තගරසිඛී කියන පසේබුදුරජුන්ට පිණ්ඩපාතෙ දෙන්නට නියම කළා. ‘ඔය ශ්‍රමණයාට දානෙ ටිකක් දෙන්න’ කියලා නැගිටලා ගියා. දන් දුන්නාට පස්සේ ඒ දීපු දේ ගැන ඔහු පසුතැවුනා. ‘අයියෝ! ඔය පිණ්ඩපාතෙට දීපු දානෙ, වැඩකාරයො හරි, කම්කරුවො හරි කෑවා නම් කොච්චර දෙයක්ද’ කියලා. ඒ වගේම දේපල වස්තුව මුල් කරගෙන තම සහෝදරයෙකුගේ කුඩා දරුවෙක්වත් මෙයා මරලා තියෙනවා.
පින්වත් මහාරාජ, ඒ ගෘහපති සිටුවරයා තගරසිඛී පසේබුදුරජුන්ට, ‘පිණ්ඩපාතෙ දෙන්න’ කියල නියම කරපු නිසා, ඒ කර්ම විපාකයෙන් හත් වතාවක් සුගතිය නම් වූ ස්වර්ගයේ ඉපදුනා. ඒ කර්මයේ ඉතුරු විපාකයෙන් මේ සැවැත් නුවරම හත් වතාවක් සිටු තනතුර ලැබුවා.
පින්වත් මහාරාජ, ඉතින් එදා ඒ සිටුවරයා දානෙ දුන්නට පස්සේ පසුතැවිලි වුනානෙ. ‘අයියෝ! ඔය පිණ්ඩපාතෙට දීපු දානෙ, වැඩකාරයො හරි, කම්කරුවො හරි කෑවා නම් කොච්චර දෙයක්ද’ කියලා. ඒ කර්ම විපාකය නිසා කටට රහට බත් ටිකක් කන්න හිත නැමෙන්නෙ නෑ. පිළිවෙලකට ඇඳුමක් අඳින්න හිත නැමෙන්නෙ නෑ. පිළිවෙලක් ඇති වාහනයක් පාවිච්චි කරන්න හිත නැමෙන්නෙ නෑ. යහපත් විදිහට පංචකාම සැප අනුභව කරන්න හිත නැමෙන්නෙ නෑ.
පින්වත් මහාරාජ, ඉතින් ඔය සිටුවරයා දේපළ වස්තුව මුල්කරගෙන තම සොහොයුරාගේ එකම පුතාව මැරෙව්වනෙ. අන්න ඒ කර්ම විපාකය නිසා, බොහෝ අවුරුදු ගණනක්, බොහෝ අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක් නරකාදියෙ පැහුනා. ඒ කර්මයේ ඉතිරි විපාකයටයි මේ හත්වෙනි වතාවෙ දරුවන් නැතුව, දේපළ වස්තුව රාජසන්තක වුනේ.
පින්වත් මහාරාජ, ඒ සිටුවරයාගේ පැරණි පින දැන් ඉවරයි. අලුතින් පිනක් රැස්කළෙත් නෑ. පින්වත් මහාරාජ, දැන් වෙනකොට ඒ ගෘහපති සිටුවරයා මහා රෞරව කියන නරකාදියේ පැහෙනවා.”
“එහෙමද ස්වාමීනී, ඒ ගෘහපති සිටුවරයා මහා රෞරව නරකයේද උපන්නේ?”
“ඔව්, පින්වත් මහාරාජ. ඒක එහෙම තමයි. ඒ ගෘහපති සිටුවරයා දැන් මහා රෞරව නරකාදියේ ඉපදිලා.
ධාන්‍යත්, ධනයත්, රිදීත්, රත්තරනුත්, තමන් සතු අනිත් දේවලුත්, මෙහෙකරුවොත්, අනිත් උදවියත්, ඔහුත් සමඟ ජීවත් වෙන හැමදෙයක්මත්, අරගෙන යන්නෙ නෑ. ඒ ඔක්කොම මෙහෙ දාලා යනවා.
නමුත් කයින් හරි, වචනයෙන් හරි, සිතෙන් හරි යම් දෙයක් කරනවා නම්, ඒක විතරයි තමන්ගේ දෙයක් හැටියට අරගෙන යන්න තියෙන්නෙ. අන්න ඒ දේ තමාව අත්නොහරින සෙවනැල්ල වගේ තමාගේ පස්සෙන් එනවා.
ඒ නිසා පරලොව යහපතට හේතු වෙන යහපත් දේමයි කරන්න ඕන. පරලොව යන සත්වයන්ට පිහිට වෙන්නෙ පින විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි අපුත්තක වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M