සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..
ඒ දවස් වෙනකොට වේදේහි පුත්‍ර වූ අජාසත් මගධ රජු සිව්රඟ සේනාව සන්නද්ධ කරගෙන, පසේනදී කොසොල් රජුට විරුද්ධව යුද්ධ කරන්නට කාසි ගම බලා පිටත් වුනා. පසේනදී කොසොල් රජතුමාට ඔය කාරණය ආරංචි වුනා. ‘වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු සිවුරඟ සේනාව සන්නද්ධ කරගෙන, තමන්ට විරුද්ධව යුද වදින්න කාසි ගමට පිටත් වුනා’ කියලා.
එතකොට පසේනදී කොසොල් රජතුමාත් සිවුරඟ සේනාව සන්නද්ධ කරගෙන වේදේහි පුත්‍ර අජාසත් රජුට විරුද්ධව යුද වදින්න කාසි ගම කරා පිටත් වුනා. ඊට පස්සේ වේදේහි පුත්‍ර අජාසත් රජුත්, පසේනදී කොසොල් රජුත් යුද්ධ කළා. ඒ යුද්දෙදි පසේනදී කොසොල් රජතුමා වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුව පරාජය කළා. ඔහුව ජීවග්‍රාහයෙන් අල්ලා ගත්තා.
එතකොට පසේනදී කොසොල් රජතුමාට මෙහෙම හිතුනා. ‘මේ වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු කිසිසේත් ද්‍රෝහිකම් නොකරන මටමයි ද්‍රෝහි වෙන්නෙ. අනික මගේ බෑණා කෙනෙක් නෙව. ඒ නිසා මං වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුගේ මුළු ඇත් සේනාවත්, මුළු අශ්ව සේනාවත්, මුළු රථ සේනාවත්, මුළු පාබල සේනාවත් අරගෙන ඔහුගේ ජීවිතය බේරල නිදහස් කරල දානවා.’
ඉතින් පසේනදී කොසොල් රජතුමා වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුගේ මුළු ඇත් සේනාවම පැහැරගෙන …. (පෙ) …. ඔහුගේ ජීවිතේ බේරලා නිදහස් කළා.
එදා බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරෝගෙන, පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවර පිණ්ඩපාතෙ වැඩියා. පිණ්ඩපාතෙ කරගෙන දානෙ වළඳලා, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවො සිවුරඟ සේනාව සන්නද්ධ කරගෙන, පසේනදී කොසොල් රජ්ජුරුවන්ට විරුද්ධව යුද්ධ කරන්න කාසි ගමට පිටත් වුනා. ස්වාමීනී, පසේනදී කොසොල් රජ්ජුරුවන්ටත් අහන්න ලැබුනා …. (පෙ) …. කාසි ගමට පිටත් වුනා කියලා. ඉතින් ස්වාමීනී, පසේනදී කොසොල් රජ්ජුරුවොත් චතුරංගනී සේනාව සන්නද්ධ කරගෙන වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවන්ට විරුද්ධව යුධ වදින්න කාසි ගමට පිටත් වුනා. ඉතින් ස්වාමීනී, වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවොයි, පසේනදී කොසොල් රජ්ජුරුවොයි යුද්ධ කළා. ස්වාමීනී, ඒ යුද්දෙදි පසෙනදී කොසොල් රජ්ජුරුවො වේදේහි පුත්‍ර මගධ රජ්ජුරුවන්ව පැරැද්දුවා. ඔහුව ජීවග්‍රාහයෙනුත් අල්ලගත්තා.
ස්වාමීනී, එතකොට පසේනදී කොසොල් රජ්ජුරුවන්ට මෙහෙම හිතිල තියෙනවා. ‘මේ වේදේහි පුත් අජාසත් මගධ රජු, කිසිසේත් ද්‍රෝහිකම් නොකරන මටමයි ද්‍රෝහි වෙන්නෙ. අනික මෙයා මගේ බෑණා කෙනෙක් වෙලත්. මං එහෙනම් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුට අයිති, මුළු ඇත් සේනාවම පැහැරගෙන, මුළු අශ්ව සේනාවම පැහැරගෙන, මුළු රථ සේනාවත් පැහැර ගෙන, මුළු පාබල සේනාවත් පැහැර ගෙන මෙයාව විතරක් ජීවිතේ බේරලා නිදහස් කරන්න ඕන’ කියලා.
ඉතින් ස්වාමීනී, පසේනදී කොසොල් රජ්ජුරුවො වේදේහි පුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවන්ගේ මුළු ඇත් සේනාවම පැහැර ගත්තා. මුළු අශ්ව සේනාවත් පැහැරගත්තා. මුළු රථ සේනාවත් පැහැරගත්තා. මුළු පාබල සේනාවත් පැහැරගත්තා. අජාසත් රජුව පණ පිටින් පිටත් කරලා හැරියා.”
එතකොට ඒ කරුණ දැනගත් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාවන් වදාළා.
“කෙනෙක් තමන්ට පුළුවන්කම තියෙනතාක් විතරයි අනුන්ව පැහැර ගන්නෙ. නමුත් යම් දවසක අනිත් උදවිය තමන්ව පැහැරගත්තු දවසට අනුන් විසින් තමන්ව වනසනවා.
පාපය විපාක නොදෙන තාක් අඥාන පුද්ගලයා ඒක සතුටක් කියල හිතනවා. යම් දවසක පාපය විපාක දෙන්න පටන් ගත්තාම, එතකොටයි ඒ අඥානයා දුකට පත්වෙන්නෙ.
අනුන්ව නසන කොට, තමාව නසන්නෙක් බිහිවෙනවා. අනුන්ව දිනවන කොට, තමාට ජය ලැබෙනවා. ආක්‍රෝෂ කරන්නා ආක්‍රෝෂ කරන්නෙක්ව ලබා ගන්නවා. කේන්ති ගන්න කෙනා කේන්ති ගන්න කෙනෙක්ව ලබා ගන්නවා. කර්මය මෝරල ගියාම අනුන්ව නැසූ පුද්ගලයාවම අනුන් විසින් නසල දානවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M