සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.2.3 . දෝණපාක සුත්තං

3.2.3 . අතිවිශාල බත් පිඟාන ගැන වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………

තේන ඛෝ පන සමයේන රාජා පසේනදි කෝසලෝ දෝණපාකං සුදං පරිභුඤ්‌ජති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ භුත්‌තාවී මහස්‌සාසී යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි.

ඒ දවස්වල පසේනදී කොසොල් රජතුමා අතිවිශාල බත් පිඟානක් අනුභව කරනවා. දවසක් පසේනදී කොසොල් රජතුමා හොඳට බත් කාලා, හති දදා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගිහින්, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා.

අථ ඛෝ භගවා තං රාජානං පසේනදිං කෝසලං භුත්‌තාවිං මහස්‌සාසිං විදිත්‌වා තායං වේලායං ඉමං ගාථං අභාසි.

ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා හොඳට බත් කාලා, අමාරුවෙන් හති දදා ඉන්න බව දැනගෙන මේ ගාථාව වදාළා.

මනුජස්‌ස සදා සතීමතෝ මත්‌තං ජානතෝ ලද්‌ධභෝජනේ
තනු තස්‌ස භවන්‌ති වේදනා සනිකං ජීරති ආයුපාලයන්‌ති.

“හැමතිස්සෙම සිහියෙන් ඉඳගෙන, තමන්ට ලැබුනු භෝජනයේ අර්ථය දැනගෙන අනුභව කළොත් ඒ මනුස්සයාගේ දුක් පීඩා තුනී වෙලා යනවා. හොඳට දිරවනවා. ආයුෂත් රැකෙනවා.”

තේන ඛෝ පන සමයේන සුදස්‌සනෝ මාණවෝ රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස පිට්‌ඨිතෝ ඨිතෝ හෝති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ සුදස්‌සනං මාණවං ආමන්‌තේසි. ඒහි ත්‌වං තාත සුදස්‌සන, භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං පරියාපුණිත්‌වා මම භත්‌තාභිහාරේ භාස. අහඤ්‌ච තේ දේවසිකං කහාපණසතං නිච්‌චභික්‌ඛං පවත්‌තයිස්‌සාමීති. ඒවං දේවාති ඛෝ සුදස්‌සනෝ මාණවෝ රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස පටිස්‌සුත්‌වා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං පරියාපුණිත්‌වා රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස භත්‌තාභිහාරේ සුදං භාසති.

ඒ මොහොත සුදස්සන කියන තරුණයා පසේනදී කොසොල් රජතුමාගේ පිටුපසින් හිටගෙන හිටියා. පසේනදී කොසොල් රජතුමා ඒ සුදස්සන තරුණයාව ඇමතුමා. “ඒයි දරුවා සුදස්සන, මෙහෙ එනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ගාථාව හොඳට පාඩම් කරගන්නවා. මං බත් අනුභව කරන්න ලෑස්ති වෙනකොට ඔය ගාථාව කියන්න ඕන. මමත් ඔබට දිනපතා කහවණු සීයක පඩියක් ගෙවනවා.”

“එහෙමයි දේවයන් වහන්ස” කියල සුදස්සන තරුණයා පසේනදී කොසොල් රජතුමාට පිළිතුරු දුන්නා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව ඉගෙන ගත්තා. කොසොල් රජ්ජුරුවො බත් අනුභව කරන්න ලෑස්ති වෙනකොට ඒ ගාථව කියනවා.

මනුජස්‌ස සදා සතීමතෝ මත්‌තං ජානතෝ ලද්‌ධභෝජනේ
තනු තස්‌ස භවන්‌ති වේදනා සනිකං ජීරති ආයුපාලයන්‌ති.

“හැමතිස්සෙම සිහියෙන් ඉඳගෙන, තමන්ට ලැබුනු භෝජනයේ අර්ථය දැනගෙන අනුභව කළොත් ඒ මනුස්සයාගේ දුක් පීඩා තුනී වෙලා යනවා. හොඳට දිරවනවා. ආයුෂත් රැකෙනවා”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ අනුපුබ්‌බේන නාළිකෝදනපරමතාය සණ්‌ඨාසි. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ අපරේන සමයේන සල්‌ලිඛිතගත්‌තෝ පාණිනා ගත්‌තානි අනුමජ්‌ජන්‌තෝ තායං වේලායං ඉමං උදානං උදානේසි. උභයේන වත මං සෝ භගවා අත්‌ථේන අනුකම්‌පි. දිට්‌ඨධම්‌මිකේන චේව අත්‌ථේන සම්‌පරායිකේන චාති.

දැන් පසේනදී කොසොල් රජතුමා ටිකෙන් ටික සහල් නැලියක බත විතරක් වැඩිම ආහාරය වශයෙන් ගන්න විදිහට හැඩගැසුනා. පහුවෙන කොට පසේනදී කොසොල් රජතුමාට සැහැල්ලු ශරීරයක් ඇතිවුනා. ඔහු තමන්ගේ අත්වලින් ඇඟ පිරිමදිමින් ඒ වෙලාවෙ මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා.

“ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙලොව යහපත පිණිසත්, පරලොව යහපත පිණිසත්, දෙලොවම යහපත පිණිසත් මට අනුකම්පා කොට වදාළා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M