ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා, ඉස්තෝප්පුවේ වැඩසිටියා. එතකොට පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා.
ඒ මොහොතේ ජටාධර තවුසන් හත් දෙනෙකුත්, නිගණ්ඨයන් හත් දෙනෙකුත්, අචේලකයන් හත් දෙනෙකුත්, තනි සළුවකින් විතරක් ඇඳගත් තවුසන් හත් දෙනෙකුත්, පරිබ්‍රාජකයන් හත් දෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් කළා. නියපොතු, කෙස් වවාගෙනයි ඔවුන් හිටියේ. නොයෙක් විදිහේ තවුස් පිරිකර ඔවුන් ළඟ තිබුනා. ඔවුන් දුටු පසේනදී කොසොල් රජතුමා ආසනෙන් නැගිට්ටා. උතුරු සළුව එක් පැත්තකට පොරෝගත්තා. දකුණු දණහිස පොළොවෙ තබාගත්තා. අර ජටාධර තවුසන් හත් දෙනා, නිගණ්ඨයන් හත්දෙනා, අචේලකයින් හත්දෙනා, තනි සළුවක් පොරෝගත්තු හත්දෙනා, පරිබ්‍රාජකයන් හත්දෙනා දිහාවට වැඳගෙන තුන්වරක් තමන්ගේ නම කිව්වා. “ස්වාමීනී, මමයි පසේනදී කොසොල් රජතුමා …. (පෙ) …. ස්වාමීනී, මමයි පසේනදී කොසොල් රජතුමා”
ඒ ජටාධර තවුසන් හත් දෙනා, නිගණ්ඨයන් හත්දෙනා, අචේලකයින් හත්දෙනා, තනි සළුවක් පොරෝගත්තු හත්දෙනා, පරිබ්‍රාජකයන් හත්දෙනා එතනින් ගියාට පස්සෙ, පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මේ ලෝකෙ යම් රහතන් වහන්සේලා ඉන්නවා නම්, රහත් මාර්ගයට බැසගත්තු උතුමන් ඉන්නවා නම්, දැන් මෙතනින් ගිය උදවියත් ඒ පිරිසට තමයි අයිති.”
“පින්වත් මහාරාජ, ගිහි ගෙදර ගත කරන, කම්සැප විඳින, දූ දරුවන්ගේ කරදර තියෙන, සිනිඳු සළු පොරවන, මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන, රන් රිදී, පාවිච්චි කරන, ඔබට මේ උදවිය රහත්ය, මේ උදවිය රහත් මඟට බැසගත් පිරිසය කියල දැනගන්න පුළුවන්කමක් නෑ.
පින්වත් මහාරාජ, එකට ජීවත් වෙලයි සීලය ගැන දැනගන්න තියෙන්නෙ. ඒකත් ටික දවසකින් නෙවෙයි. සෑහෙන කලක් හිටියට පස්සෙ. ඒකත්, ඒ ගැන කල්පනාවෙන් ඉන්න කෙනාටයි. කල්පනාවෙන් ඉන්නෙ නැති කෙනාට නෙවෙයි. ඒකත් ප්‍රඥාවන්තයෙක් විතරයි තේරුම් ගන්නෙ. ප්‍රඥාව නැති කෙනෙක් නෙවෙයි තේරුම් ගන්නෙ.
පින්වත් මහාරාජ, කතා බස් කිරීමෙන්මයි කෙනෙකුගේ පිරිසිදුකම දැනගන්න තියෙන්නෙ. ඒකත් සුළු කලකින් නෙවෙයි. සෑහෙන කලකින්. ඒකත් කල්පනාවෙන් ඉඳලාමයි අල්ලගන්න තියෙන්නෙ. කල්පනාව නැතුව ඉඳලා නෙවෙයි. ඒකත් ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි පුළුවන්. ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි.
පින්වත් මහාරාජ, කෙනෙකුගේ වීරිය දැනගන්න තියෙන්නෙ එයා කරදරේක වැටිච්ච වෙලාවකයි. ඒකත් සුළු කලකින් නෙවෙයි. සෑහෙන කලකින්. ඒකත් කල්පනාවෙන් ඉඳලාමයි අල්ලගන්න තියෙන්නෙ. කල්පනාව නැතුව ඉඳලා නෙවෙයි. ඒකත් ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි පුළුවන්. ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි.
පින්වත් මහාරාජ, කෙනෙකුගේ ප්‍රඥාව සොයාගන්න තියෙන්නෙ සාකච්ඡා කිරීමෙන්මයි. ඒකත් සුළු කලකින් නෙවෙයි. සෑහෙන කලක් සාකච්ඡා කිරීමෙනුයි. ඒකත් කල්පනාවෙන් ඉඳලාමයි අල්ලගන්න තියෙන්නෙ. කල්පනාව නැතුව ඉඳලා නෙවෙයි. ඒකත් ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි පුළුවන්. ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි.”
“ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, අද්භූතයි! ‘පින්වත් මහාරාජ, ඔබ වැනි ගිහි ජීවිතය ගත කරන, කම් සැප විඳින කෙනෙක් මේක අමාරුවෙන් තමයි තේරුම් ගන්න තියෙන්නෙ …. (පෙ) …. ප්‍රඥාවන්ත කෙනෙක් ම යි තේරුම් ගන්නෙ, ප්‍රඥාව නැති කෙනෙක් නො වෙයි’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තක්මයි.
ස්වාමීනී, ඔය උදවිය මගේ චරපුරුෂයෝ. දැන් ඒ ඇත්තො ජනපදවල ඇවිදගෙන ගිහින් තොරතුරු අරගෙනයි එන්නෙ. ඒ ඇත්තන් ඉස්සර වෙලා ඇවිදගෙන ගියපු පළාතෙ තමයි ඊට පස්සෙ මං යන්නෙ. ස්වාමීනී, දැන් ඉතින් ඔය උදවිය ඔය දැලි කුණු හෝදලා දාලා, හොඳට වතුර නාලා, හොඳට සුවඳ විලවුන් ගාලා, හැඩට කොණ්ඩෙ පීරලා, සළු පිළි ඇඳගෙන, පස්කම් සැපතින් පිනා ගිහින් ඉඳුරන් පිනව පිනවා ඉන්නවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවෙ මේ ගාථාවන් වදාළා.
“බාහිර පෙනුමෙන් මනුස්සයෙක්ව පහසුවෙන් අඳුනගන්න බෑ. දැන අඳුනගෙන සුළු වෙලාවකින් ඔවුන්ව විශ්වාස කරන්න හොඳ නෑ. මේ ලෝකයේ කිසි සංවරයක් නැති උදවිය ශාන්ත දාන්ත ඉරියව් පෙන්නගෙන ඉන්නවා.
ඔවුන්ගේ ජීවිතවල ඇතුළ අපිරිසිදුයි. බාහිර ඔපය විතරයි. ඔවුන් ලස්සන වෙලා ඉන්නෙ රත්තරන් පාට ගාපු මැටි ආභරණ වගෙයි. රත්තරන් පාට ගාපු යකඩ කෑලි වගේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M