සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.1.8. මල්ලිකා සුත්තං

3.1.8. මල්ලිකා දේවිය ගැන වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

තේන ඛෝ පන සමයේන රාජා පසේනදි කෝසලෝ මල්‌ලිකාය දේවියා සද්‌ධිං උපරිපාසාදවරගතෝ හෝති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ මල්‌ලිකං දේවිං ඒතදවෝච. අත්‌ථි නු ඛෝ තේ මල්‌ලිකේ කෝ චඤ්‌ඤෝ අත්‌තනා පියතරෝති? නත්‌ථි ඛෝ මේ මහාරාජ කෝ චඤ්‌ඤෝ අත්‌තනා පියතරෝ. තුය්‌හං පන මහාරාජ අත්‌ථඤ්‌ඤෝ කෝචි අත්‌තනා පියතරෝති. මය්‌හම්‌පි ඛෝ මල්‌ලිකේ නත්‌ථඤ්‌ඤෝ කෝචි අත්‌තනා පියතරෝති.

එදා පසේනදී කොසොල් රජතුමා මල්ලිකා දේවියත් සමඟ මාලිගාවේ උඩ තට්ටුවෙයි හිටියේ. එතනදී පසේනදී කොසොල් රජ්ජුරුවො මල්ලිකා දේවියගෙන් මෙහෙම ඇහුවා. “ප්‍රිය මල්ලිකා, ඔයාට තමන්ට වඩා ප්‍රිය වූ වෙන කවුරුවත් ඉන්නවාද?”

“මහරජතුමනි, නෑ. මට තමන්ට වඩා ප්‍රිය වූ වෙන කවුරුවත් නෑ. මහරජතුමනි, ඔබතුමාට තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් ඉන්නවාද?”

“ප්‍රිය මල්ලිකා, මට වුනත් එච්චර තමයි. තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් නෑ.”

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ පාසාදා ඕරෝහිත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. ඉධාහං භන්තේ මල්‌ලිකාය දේවියා සද්‌ධිං උපරිපාසාදවරගතෝ මල්‌ලිකං දේවිං ඒතදවෝචං. අත්‌ථි නු ඛෝ තේ මල්‌ලිකේ කෝ චඤ්‌ඤෝ අත්‌තනා පියතරෝති? ඒවං වුත්තේ භන්තේ මල්‌ලිකා දේවී මං ඒතදවෝච. නත්‌ථි ඛෝ මේ මහාරාජ කෝ චඤ්‌ඤෝ අත්‌තනා පියතරෝ. තුය්‌හං පන මහාරාජ අත්‌ථඤ්‌ඤෝ කෝචි අත්‌තනා පියතරෝති? ඒවං වුත්‌තාහං භන්තේ මල්‌ලිකං දේවිං ඒතදවෝචං. මය්‌හම්‌පි ඛෝ මල්‌ලිකේ නත්‌ථඤ්‌ඤෝ කෝචි අත්‌තනා පියතරෝති.

ඊටපස්සෙ පසේනදී කොසොල් රජ්ජුරුවො මාලිගාවෙන් බැස්සා. භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනි, මං මල්ලිකා දේවියත් සමඟ මාලිගාවේ උඩ තට්ටුවේ හිටියේ. මං මල්ලිකා දේවියගෙන් මෙහෙම ඇහුවා. ‘ප්‍රිය මල්ලිකා, ඔයාට තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් ඉන්නවාද?’ කියල. එතකොට ස්වාමීනි, මල්ලිකා දේවිය මට මෙහෙම කිව්වා. ‘නෑ, මහරජතුමනි, මට තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් නෑ. මහරජතුමනි, ඔබතුමාටත් තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් ඉන්නවාද?’ එතකොට ස්වාමීනි, මම මල්ලිකා දේවියට මෙහෙම කිව්වා ‘ප්‍රිය මල්ලිකා, මට වුනත් එච්චර තමයි. තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් නෑ.’

අථ ඛෝ භගවා ඒතමත්‌ථං විදිත්‌වා තායං වේලායං ඉමං ගාථං අභාසි.

එතනදි මේ කරුණ දැනගත් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී මේ ගාථාව වදාළා.

සබ්‌බා දිසා අනුපරිගම්‌ම චේතසා
නේවජ්‌ඣගා පියතරමත්‌තනා ක්‌වචි
ඒවං පියෝ පුථු අත්‌තා පරේසං
තස්‌මා න හිංසේ පරං අත්‌තකාමෝති.

“හැම දිශාවක් පුරාම සිතින් විමස විමස බැලුවොත් තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් ඉන්නවාද කියලා, කිසි තැනක තමන්ට වඩා ප්‍රිය වෙන කවුරුවත් හම්බු වෙන්නෙ නෑ. ඔය විදිහට බොහෝ දෙනෙකුට තමන්ව ප්‍රියයි. ඒ නිසා තමන්ට කැමති කෙනා අනුන්ට හිංසා කරන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M